01

E   |     |  

 දිනය: 2024-01-11   පිළිතුර ලබා දී ඇත 

3410/2024: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් විශ්‍රාම ගන්වන ලද සේවකයන් 18දෙනා: විශ්‍රාම වැටුප ලබාදීම

3410/2023

ගරු වාසුදේව නානායක්කාර මහතා,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කර මීට වර්ෂ 25කට පමණ පෙර විශ්‍රාම ගන්වන ලද සේවකයන් 18 දෙනෙකු‍ට විශ්‍රාම වැටුප් ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව විසින් කරන ලද නිර්දේශ මේ වනතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත්;

(ii) මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 17/2005 මඟින්  සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවත්;

(iii) එම සේවකයන් 18 දෙනා විශ්‍රාම වැටුප් ලැබීමට සියලු සුදුසුකම් සපුරා ඇති බව ගුවන් විදුලි සංස්ථාවේ එවකට සභාපතිවරයා විසින් එවකට අමාත්‍යවරයාට හා ලේකම්වරයාට දන්වා ඇති බවත්;

(iv) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එවකට අතිරේක ලේකම් විසින් ඉහත සේවකයන්ටද විශ්‍රාම වැටුප් ගෙවිය යුතු බවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත නිර්දේශ කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, ඉහත සේවකයන් 18 දෙනාට විශ්‍රාම වැටුප් ගෙවනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-01-11

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       මෙම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතී.

              (ii)       ඔව්.

                        අමාත්‍ය මණ්ඩලය වෙතින් විධිමත් අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු කරනු ඇත.

             (iii)      අනාවරණය නොවේ.

             (iv)       සේවකයන් 18දෙනෙකුට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත අතිරේක ලේකම් විසින් නිර්දේශ ලිපියක් යවා නැත.

(ආ) මෙම සේවකයන් විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහි නියෝග පරිදි මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර අනුමැතිය ලබා ගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත දන්වා තිබේ. මේ සම්බන්ධව කෙටුම්පත සකස් කිරීමට සංස්ථා මණ්ඩලය දැනුවත්කර එහි තීරණය ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසත්, අමාත්‍ය මණ්ඩල කෙටුම්පත සකසා යොමු කිරීමට කටයුතු කරන ලෙසත් ජනමාධ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී ඇත. ඒ අනුව, 2023.12.01 දින සංස්ථා මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-01-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks