01

E   |     |  

 දිනය: 2023-10-20   පිළිතුර ලබා දී ඇත 

3366/2023: පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ ආපදාවට ලක් වූ පුද්ගලයන්: වන්දි

3366/2023

ගරු මයන්ත දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)        පාස්කු දින සිදු කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මරණයට පත් වූ         පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට වන්දි ලබා දී තිබේද;

              (ii)       එම ප්‍රහාරය හේතුවෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන් රැකබලාගැනීම සඳහා  වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

(iii) එම දරුවන් රැකබලා ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් වෙත මාසික දීමනාවක් ගෙවනු ලබන්නේද;

(iv) එම ප්‍රහාරය හේතුවෙන් ආපදාවට ලක් වී සිටින පුද්ගලයන් සඳහා රජයේ අනුග්‍රහයෙන් විදේශ ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-20

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.

(අ)          (i)      පාස්කු ඉරිදා දින සිදු කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මරණයට පත් වූ බැතිමතුන් 224දෙනෙකු සඳහා වන්දි ගෙවීමට රජය විසින් රුපියල් 225,700,000ක් වියදම් දරා ඇති අතර, හානිපූරණය සඳහා වන කාර්යාලය වෙත යොමු කරන ලද අයදුම්පත් සඳහා මිය ගිය අයගේ ළඟම ඥාතීන්ට වන්දි වශයෙන් එම මුදල් ලබා දී ඇත.

(ii) කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් දෙමව්පියන් අහිමි දරුවන් සඳහා පරිලෝචන නියෝග යටතේ දරුවන්ගේ භාරකාරිත්වය පැවරීම සිදු කර ඇත.

තවද, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා සංවර්ධන ඒකකයේ නිලධාරින්ගේ ඍජු අධීක්ෂණය, ග්‍රාම නිලධාරින්ගේ, ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සහාය ඇතිව ස්වේච්ඡා නිලධාරින් පත් කර නිරන්තරයෙන් පසුවිපරම් සිදු කරනු ලබන අතර, විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතන ඒකාබද්ධව ස්වේච්ඡාවෙන් ඉටු කරන ලද කාර්යයන් පහත පරිදි පෙන්වා දිය හැක.

  • මියගිය දරුවන්, දෙමව්පියන් හා භාරකරුවන් වෙනුවෙන් හානිපූරණ ගෙවීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාදීම.
  • මව/පියා දෙදෙනාම අහිමි වූ දරුවන් රැක බලා ගැනීමේ ක්‍රමවේද දේවස්ථාන මූලික කරගත් ක්‍රමවේදයක් අනුව සිදු වූ අතර, ඒ සඳහා පූජකතුමන්ලාගේ හා කන්‍යා සොහොයුරියන්ගේ ‍සහාය ලබා ගනිමින් දායකත්වය ලබාදීමේ සාමූහික සේවා සම්පාදන ක්‍රමයක් ක්‍රියාත්මක කරවීම.
  • හියුමෙඩිකා ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පවුල් සඳහා වියළි ආහාර වරින් වර ලබා දීම.
  • කටුනායක ඩයල් ටෙක් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ආධාර ලබාදීම.
  • Forut ආයතනයේ හා කල්‍යාණි පදනමේ අනුග්‍රාහකත්වයෙන් පාසල් උපකරණ ලබාදීම.
  • හියුමෙඩිකා ආයතනයේ සහ සර්වෝදය ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පවුල්වල ජීවනෝපාය සංවර්ධනයට ස්වයං රැකියා සඳහා උපකාර කිරීම.
  • රෝද පුටු, අත්වාරු, කිහිලිකරු, ශ්‍රවණ උපකරණ ආදී අවශ්‍යතා ලබා දීම.
  • මනෝ සමාජ උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

(iii) එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට හා උසස් අධ්‍යාපනය ලබන අවස්ථාවේදී ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි රුපියල් 1,000,000 බැගින් වන ස්ථාවර තැන්පතු ආරම්භ කිරීමේ වැඩසටහනක් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇත. එහිදී බලපෑමට ලක්වූ ළමුන් අතරින් අතිඋතුම් කාදිනල් හිමිපාණන්ගේ කතෝලික සභාවේ සමාජ සේවා ආයතනය වන සෙත්සරණ ආයතනයේ නිර්දේශ මත කටුවාපිටිය හා කොච්චිකඩේ සිදු වූ ප්‍රහාරයෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් ලෙස දරුවන් 07දෙනෙකුගේ නම් නිර්දේශ කර ය‍ොමු කර ඇති අතර ඔවුන් සඳහා පහත පරිදි මුදල් ප්‍රදානය කර ඇත.

 

 

ස්ථානය

දරුවාගේ නම

ගෙවන ලද මුදල (රු.)

1

කටුවාපිටිය

සී. මේදාන්ත ස්ටීවන්

1,000,000

2

ශාන්ත

ඩී. දිව්‍යාංග ප්‍රනාන්දු

1,000,000

3

සෙබස්තියන්

රෙබෙකා සෙව්වන්දි

1,000,000

4

දේවස්ථානය

බී.කේ. ප්‍රියාශ රුද්‍රිගු

1,000,000

5

 

බී.කේ. සුශාන් රුද්‍රිගු

1,000,000

6

කොච්චිකඩේ       ශාන්ත

ජොන්ස්ටන් ක්‍රිස්ටපෝල්

1,000,000

 7

අන්තෝනි දේවස්ථානය

ජොන්ස්ටන් ඉන්නකෝන්

1,000,000

තවද මඩකලපුව සියෝන් දේවස්ථානයට සිදු වූ ප්‍රහාරයෙන් හානියට පත් වූ දරුවන් දෙදෙනෙකුට මෙම මුදල් ලබා දීමට යෝජිතව තිබුණ ද සෙත්සරණ ආයතනයේ නිර්දේශ ලබා නොදීම හේතුවෙන් එම මුදල් ප්‍රදානය කර නොමැත.

මීට අමතරව රතුකුරුස සංවිධානයේ අනුග්‍රාහකත්වය ඇතිව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මසකට රුපියල් 5,000.00, රුපියල් 6,000.00 බැගින් වසරක කාලයක් ලබාගත හැකි වන සේ මූල්‍යාධාර සපයා ඇත.

(iv) රජයේ අනුග්‍රහයෙන් විදේශ ප්‍රතිකාර ලබා දී නොමැත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-01-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks