01

E   |     |  

 දිනය: 2023-10-20   පිළිතුර ලබා දී ඇත 

3234/2023: මහ බැංකු නිකුතු සුරක්ෂිතාගාරයේ මුදල් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වූ විමර්ශන: ප්‍රගතිය

3234/2023

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකා මහ බැංකුවේ “නිකුතු සුරක්‍ෂිතාගාරයේ” තැන්පත් කර තිබූ රුපියල් මිලියන 5ක මුදලක් අතුරුදහන් වී තිබේද;

             (ii)       ඊට වගකිව යුතු නිලධාරින් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදු කර තිබේද;

(iii) මේ වනවිට, එම විමර්ශනවල ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) “නිකුතු සුරක්‍ෂිතාගාරයේ” ආරක්‍ෂිත කැමරා සවිකර තිබේද;

(ii) එම ආරක්‍ෂිත කැමරා පද්ධතියේ පටිගත වී ඇති දර්ශන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු  කර තිබේද;

(iii) ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කර ඇති මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-20

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. එවැනි සිදුවීමක් පිළිබඳව වාර්තා වේ.

              (ii)      ඔව්. විමර්ශන සිදු කර තිබේ.

             (iii)      මේ සම්බන්ධයෙන් විමර්ශන දෙකක් සිදු කෙරෙමින් පවතී. එනම්,

  • අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔවුන්ගේ විමර්ශනය සහ අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇත.
  • · මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කරන ලද අභ්‍යන්තර කරුණු සෙවීමේ කමිටුවක්ද විමර්ශනයක් සිදු කරමින් පවතී.

(ආ) (i) නැත. නිකුතු සුරක්ෂිතාගාරයේ අවට ප්‍රදේශයන් සහ මෙහෙයුම් සිදු කෙරෙන මාර්ගයන්හි ආරක්ෂිත කැමරා (CCTV) සවිකර ඇත.

(ii) ඔව්. නිකුතු සුරක්ෂිතාගාරයෙහි අවට ප්‍රදේශවල සහ වෙනත් අදාළ අංශ තුළ සවි කර තිබූ කැමරාවල CCTV දර්ශන විමර්ශන අංශ වෙත ලබා දී ඇත.

(iii) ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ගෙන ඇත.

  • · ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු මුදල් සුරක්ෂිතාගාර ද්විත්ව යතුරු පාලනයක් සහිතව ක්‍රියාත්මක වේ.
  • · මුදල් සුරක්ෂිතාගාර ඇතුළත ප්‍රදේශය හැරුණු කොට අනෙකුත් සියලුම මෙහෙයුම් අංශ CCTV කැමරා පද්ධතියක් මඟින් ආවරණය කර ඇත.
  • · මුදල් මෙහෙයුම් කාර්යයන්ට අදාළ රාජකාරී කටයුතු පැහැදිලිව නිලධාරින් අතර වෙන් කොට ඇත.
  • · වරින් වර ව්‍යවහාර මුදල් තොග භෞතිකව ගණනය කිරීම සිදු කෙරේ.
  • · ගිණුම් නිතිපතා සැසඳීම.
  • · සේවා නිසි මුදල් නෝට්ටු බණ්ඩල පහසුවෙන් හඳුනා ගැනීම සඳහා තීරු කේත ක්‍රමයක් (Tracking System) හඳුන්වා දී ඇත.
  • · ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂක නිලධාරින් විසින් පැය විසිහතර පුරා රාජකාරියෙහි නිරත වීම.
  • · මුදල් මෙහෙයුම් සිදු කෙරෙන විටදී පොලිස් නිලධාරින් රාජකාරියෙහි යෙදී සිටීම.
  • · මුදල් මෙහෙයුම්වල නිරත වී සිටින නිලධාරින්ගේ කාලානුරූපී සේවා වටමාරුව.
  • · මුදල් මෙහෙයුම් අංශය සඳහා පවතින සීමිත ප්‍රවේශය සහ ‍ප්‍රවේශ පාලන දොරටු.
  • · මුදල් මෙහෙයුම් රාජකාරිවල නිරතව සිටින ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරින්හට මෙන්ම බාහිර පාර්ශ්ව සඳහා ආරක්ෂණ නිෂ්කාසන අවශ්‍යතා නියම කර ඇත.
  • · මුදල් මෙහෙයුම්වල සිදු කරනු ලබන පුද්ගල මැදිහත්වීම අවම කිරීම සඳහා ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතියක් සිදු කෙරෙමින් පවතී.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-11-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks