01

E   |     |  

 දිනය: 2023-09-20   පිළිතුර ලබා දී ඇත 

3096/2023: ශ්‍රී ලංකා තේ මණ්ඩලය: පළිබෝධනාශක රසායනික විශ්ලේෂණ යන්ත්‍ර

3096/2023

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහා පළිබෝධ නාශක රසායනික සංඝටක විශ්ලේෂණ යන්ත්‍රයක් මිලදී ගන්නා ලද දිනය කවරේද;

    (ii)        ඒ සඳහා වැය කරන ලද මුදල කොපමණද;

  (iii)        එම යන්ත්‍රය මේ වනතෙක් භාවිතයට ගෙන නොමැති බව දන්නේද;

(iv) එසේ නම්, ඊට හේතු කවරේද;

(v) මේ  සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-20

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් පළිබෝධ නාශක රසායනික සංඝටක විශ්ලේෂණ යන්ත්‍ර 02ක් මිලදීගෙන ඇත.

                        ·   2009.03.24

                        ·   2020.11.23

              (ii)       ·   2009 වර්ෂයේ මිලදී ගත් පළිබෝධ නාශක රසායනික සංඝටක විශ්ලේෂණ යන්ත්‍රය - රුපියල් මිලියන 32.13

                         ·   2020 වර්ෂයේ මිලදී ගත් පළිබෝධ නාශක රසායනික සංඝටක විශ්ලේෂණ  - රුපියල් මිලියන 69.37

(iii) 2009 දී මිලදී ගත් පළිබෝධ නාශක රසායනික සංඝටක විශ්ලේෂණ යන්ත්‍රය භාවිත කර නොමැති අතර, 2020 දී මිලදී ගත් පළිබෝධ නාශක රසායනික සංඝටක විශ්ලේෂණ යන්ත්‍රය භාවිත කරයි.

(iv) 2009 වසරේදී රුපියල් මිලියන 32.13ක වැය බරක් දරා මිලදී ගත් යන්ත්‍රය භාවිතයට නොගැනීමට හේතු ලෙස අදාළ විශේෂඥ දැනුම සහිත ආයතනයක් වන Sri Lanka Institute of Nanotechnology (Pvt) Ltd ආයතනය වෙතින් වාර්තාවක් ලබාගෙන ඇත. එම වාර්තාව ඇමුණුම** මඟින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව,

· අඩු පාඩු සහගත ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කර තිබීම (තාක්ෂණික ඇගැයුම් කමිටු නිර්දේශවලට අවධානය යොමු නොකිරීම.)

· යන්ත්‍රය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව පුහුණුවක් අදාළ නිලධාරින්ට අදාළ සමාගමෙන් ලබා දී නොතිබීම.

· යන්ත්‍රය නිසි ලෙස ස්ථානගත නොකිරීම සහ යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සියලු අවශ්‍යතා සම්පූර්ණ කර නොතිබීම.

(v) මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර ඇති අතර, විධිමත් විනය පරීක්ෂණයක්ද පවත්වා ඇත.

විමර්ශන විස්තර

· මූලික විමර්ශන වාර්තාවට අනුව 2021.04.07 දිනැතිව චෝදනා පත්‍රයක් එවකට රසායනාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙත නිකුත් කර ඇත.

· විධිමත් විනය පරීක්ෂණ වාර්තාව අනුව අදාළ නිලධාරියා සියලුම චෝදනාවලින් නිදහස් කිරීමට නිර්දේශ කර ඇත.

· එම විනය පරීක්ෂණ වාර්තාව 2022.09.22 දිනැති අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ස්වාධීන නිලධාරියෙකුහට අදාළ ලේඛන පරීක්ෂා කිරීම පවරා නැවත සමාලෝචනයක් කිරීම සුදුසු බව අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

· 2023.04.27 දින අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබූ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවට අනුව එම ස්වාධීන නිලධාරියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් වෙනත් නිලධාරියෙකු ඒ සඳහා පත් කිරීමට තීරණය කර ඇති අතර, පත් කිරීමට අපේක්ෂිත නිලධාරියාගේ නිර්දේශ මත විනය කටයුතු කරනු ඇත.

මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින්ද විමර්ශනයක් පවත්වා ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks