01

E   |     |  

 දිනය: 2023-07-20   පිළිතුර ලබා දී ඇත 

2970/2023: ත්‍රිකුණාමලයේ සහ හම්බන්තොට තෙල් ටැංකි: විස්තර

2970/2023

ගරු හේෂා විතානගේ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ත්‍රිකුණාමලයේ හා හම්බන්තොට ඉදිකර ඇති තෙල් ටැංකි සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම එක් එක් තෙල් ටැංකියේ ධාරිතාවය වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (iii)       එම තෙල් ටැංකිවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-20

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ත්‍රිකුණාමලය - 99

                        හම්බන්තොට - 11

              (ii)      ත්‍රිකුණාමලය - එක් ටැංකියක ධාරිතාව 12,500 m3(එවැනි ටැංකි 99)

                        හම්බන්තොට - ටැංකි 11 ක ධාරිතාව 74,000m3.   Hambantota International Port Group (Pvt.) Ltd. - HIPG - ආයතනය යටතේ පාලනය වන ටැංකි සමූහයකි. එම ටැංකි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හෝ ලංකා ඛනිජ තෙල් සංස්ථාව හෝ ඒ යටතේ පාලනය වන ආයතනවලට හිමිකමක් නොමැත.

(iii) මුදල් අමාත්‍යාංශය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව - CPC, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම - LIOC - හා ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත පුද්ගලික සමාගම (කොටස් 51%, CPC හා 49%, LIOC සතු වන පරිදි) ත්‍රිකුණාමලය තෙල් ටැංකි සමූහය සංවර්ධනය කර භාවිත කිරීම සඳහා සිව් පාර්ශ්වීය ගිවිසුමකට එළඹ ඇත.

එම ගිවිසුම ප්‍රකාරව ත්‍රිකුණාමලයේ පවතින තෙල් ටැංකි 99 සංවර්ධනය කර භාවිත කිරීම සඳහා පනස් අවුරුදු බදු ගිවිසුම් මඟින්, පහත සඳහන් පාර්ශවයන්ට පවරා  ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉහළ ටැංකි සමූහයෙන් - Upper Tank Farm එකෙන් - ටැංකි -  24

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට පහළ ටැංකි සමූහයෙන් - Lower Tank Farm එකෙන් - ටැංකි  -   14

ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත පෞද්ගලික සමාගමට ඉහළ ටැංකි සමූහයෙන් - Upper Tank Farm            එකෙන් - ටැංකි  -   61

මුළු එකතුව  -   99

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට වසර 50 බදු පදනම මත ලබාදී ඇති ටැංකි 14 මෙරට ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතු සඳහා දැනටමත් භාවිත කරනු ලබයි. එමෙන්ම, නැව් තෙල් සැපයීමේ ව්‍යාපාරික කටයුතු සඳහා ද මෙම ටැංකි යොදා ගෙන ඇත.

උක්ත සිව් පාර්ශ්වීය ගිවිසුම අනුව ස්ථාපිත කරනු ලැබූ ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත පෞද්ගලික සමාගම අදියර දෙකක් යටතේ තෙල් ටැංකි සංවර්ධනය කරනු ලබන අතර, පළමු අදියර යටතේ ටැංකි 10ක් සංවර්ධනය කරනු ලබයි.

එහි වත්මන් ප්‍රගතිය පහතින් දක්වා ඇත.

 

  • ටැංකි සංවර්ධනයට අදාළ දිගු කාලීන උපාය මාර්ගික වාර්තාව හා වෙළෙඳ පොළ අධ්‍යයන කටයුතු එම කාර්යය පවරනු ලැබූ PWC නමැති පෞද්ගලික ආයතනය විසින් සම්පූර්ණ කර ඇත. මෙමඟින් නැව්තෙල් වෙළෙඳාම, පර්යන්ත මෙහෙයුම් හා සූර්ය බලශක්තිය නිපදවීමේ අවස්ථා හඳුනාගෙන ඇත.
  • ටැංකි 10ක පරිශ්‍රයක් ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු අවසන් කර ඇත.
  • එම සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කිරීමේ කටයුතුද අවසන් කර ඇත.
    ඒ කියන්නේ ත්‍රිකුණාමලය ටැංකි 50 පවරපු සමාගම මේ වෙනකොට ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කරලා තිබෙනවා.
  • ටැංකි දහයේ සෞඛ්‍ය ශක්‍යතා අධ්‍යයනයන් - health assessments - නිම කර ඇත.
  • ටැංකි පිළිසකර කිරීමට අදාළ විස්තරාත්මක පිරිසැකැස්ම - detailed design එක - සැකසීම සඳහා උපදේශන සේවා ලබා ගැනීම සඳහා පාර්ශ්වකරුවන් තෝරා ගැනීමට ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතී.
  • ඒ අනුව, Build, Operate and Transfer - BOT-  ව්‍යාපාර මාදිලිය යටතේ සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමට අභිලාෂ ප්‍රකාශ කිරීමේ යෝජනා - EOI - කැඳවා ඇත.
  • ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරුණු ටැංකි 24හි සංවර්ධන කටයුතුවල ප්‍රගතිය
  • පූර්ව ශක්‍යතා අධ්‍යයන කටයුතු අවසන් කර ඇත. එමඟින් නැව්තෙල් වෙළෙඳාම, පර්යන්ත මෙහෙයුම්, ගොඩබිම් තෙල් බෙදාහැරීමේ අවස්ථා හඳුනාගෙන ඇත.
  • පරිශ්‍ර ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.
  • ටැංකි 12ක සෞඛ්‍ය ශක්‍යතා අධ්‍යයනයන් - health assessments - සිදු කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කර ඇත.
  • Build, Operate and Transfer - BOT- ව්‍යාපාර මාදිලිය යටතේ ටැංකි සංවර්ධනය කිරීම සඳහා කැමැත්තක් දක්වන පාර්ශ්වයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීමේ යෝජනා -  EOI -  කැඳවීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී.

හම්බන්තොට

හම්බන්තොට ටැංකි සංවර්ධන කටයුතු මෙම අමාත්‍යාංශයේ පරිපාලනයෙන් බැහැරව බාහිර පාර්ශවයක් විසින් සිදු කරනු ලබයි.

 

(ආ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2023-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks