01

E   |     |  

 දිනය: 2023-05-10   පිළිතුර ලබා දී ඇත 

2932/2023: ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොලිස් ඒකකය: නැවත පිහිටුවීම

2932/2023

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොලිස් ඒකකය ස්ථාපනය කරන ලද දිනය හා ඉවත් කරන ලද දිනය කවරේද;

             (ii)      එම ඒකකය ඉවත් කිරීමට බලපාන ලද හේතු කවරේද;

           (iii)      විදේශ රැකියා ක්ෂේත්‍රයේ අල්ලස, වංචාව හා දූෂණය ඉහළ ගොස් ඇති පසුබිමක ඉහත සඳහන් පොලිස් ඒකකය ඉවත් කිරීම, නීත්‍යානුකූල හා තාර්කික පදනමකින් තොරව ගනු ලැබූ තීරණයක් බව පිළිගන්නේද;

  (iv) එසේ නම්, එම පොලිස් ඒකකය නැවත ස්ථාපිත කිරීමට ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-10

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1995.12.14 දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොලිස් ඒකකය ස්ථාපනය කරන ලදී.

                        එම ඒකකය 2020.09.15 දිනෙන් යුක්තව විසුරුවා හරින ලදී.

              (ii)      එවකට ශ්‍රී ලංකාව තුළ පැවති කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුකොටගෙන විදේශ රැකියා ක්ෂේත්‍රය විශාල පසුබෑමකට ලක් වූ නිසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට බලපාන ලද මූල්‍ය  ප්‍රශ්න හේතුකොටගෙන එම ඒකකය 2020.09.15වන දිනෙන් යුක්තව විසුරුවා හරින බවට එවකට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුන්දරම් අරුමෙයිනායහම් මහතා පොලිස් මූලස්ථානය වෙත ලිපියක් යොමු කර ඇත. එය ඇමුණුම මඟින් දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

  (iii) පිළිනොගනී.

1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනතේ 60වන වගන්තිය යටතේ කාර්යාංශයේ නිලධාරින් හට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දී ඇති බලය යටතේ මේ වන විට විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක වන අතර, තවදුරටත් විමර්ශන කටයුතු පුළුල් කිරීමේ පදනමින් පළාත් පහක් ආවරණය වන පරිදි පහත සඳහන් පළාත් කාර්යාල පහක විශේෂ විමර්ශන ඒකකය මේ වන විට විමධ්‍යගත කර ඇත.

එම කාර්යාල පහ වනුයේ, මධ්‍යම පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානය, වයඹ පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානය, ඌව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානය, සබරගමුව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානය සහ දකුණු පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානයයි.

(iv) පොලිස් ඒකකය නැවත ස්ථාපනය නොකරයි.

 

(ආ) දැනට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් ඉතාම කැපවීමෙන් යුතුව රාජකාරි කටයුතු කරමින් කාර්යාංශයේ බලතල අනුව විදේශ රැකියා සැපයීමේදී සිදුවන අක්‍රමිකතා වැළැක්වීමට කටයුතු කරන බැවින්, පොලිස් ඒකකයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවක් නොමැත. 

 

පිළිතුරු දුන් දිනය

2023-09-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks