පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2845/2023
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදයක් ඇතිවීමට හේතුව කවරේද;
(ii) එවැනි විදුලි අර්බුදයක් ඇතිවන බව අදාළ බලධාරින් විසින් පුරෝකථනය කර තිබුණේද;
(iii) විදුලි අර්බුදය විසඳීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් හඳුනාගෙන තිබුණේද;
(iv) ඉදිරියේදී මෙවැනි විදුලි අර්බුද ඇතිවීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-05
අසන ලද්දේ
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදයක් ඇති වීමට හේතු කිහිපයක් විය. ලංකා විදුලිබල මණ්ඩලය සතු බලාගාරවල ස්ථාපිත ධාරිතාව - installed capacity - මෙගාවොට් 4,200ක් පමණ වන අතර එය වියළි කාලගුණික තත්ත්වයකදී පවා අඛණ්ඩව පැය 24 පුරා දිවයිනේ විදුලි අවශ්‍යතා සැපයීමට ප්‍රමාණවත් විය.
නමුත්, රුසියානු-යුක්රේන යුද තත්ත්වය මත ඉන්ධන, දැවි තෙල්, ගල් අඟුරු සහ බොර තෙල්වල මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම සහ රටේ ඇති වී තිබූ විදේශ විනිමය අර්බුදය නිසා අවශ්‍ය ඉන්ධන, ගල් අඟුරු සහ දැවි තෙල් ආනයනයට ප්‍රමාණවත් මූල්‍ය පහසුකම් නොතිබීම මෙම අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් විය. එමෙන්ම, පිරිපහදුව වසා දැමීමට සිදු වීම හේතුවෙන් නිෂ්පාදනය කර ගත හැකි නැප්තා සහ දැවි තෙල් ලබා ගැනීම සීමා වීම, රට තුළ සහ විදුලිබල මණ්ඩලය තුළ ඇති වී තිබූ ආර්ථික සහ මූල්‍ය අර්බුදය සහ විදේශ විනිමය මිල දී ගැනීමට පවා අවශ්‍ය මූල්‍ය ශක්තිය නොතිබීම මීට බලපෑ අනෙකුත් හේතු විය. විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන විදුලි ජනන සැලසුම් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම සහ කොවිඩ් - 19 අර්බුදය නිසා බලාගාර සහ යටිතල පහසුකම් ඉදිකිරීම සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු ප්‍රමාද වීම මෙන්ම, දීර්ඝ කාලයක් මුළුල්ලේ අඩු වියදම් බලාගාර සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඉදිකිරීම කල්ගත වීම ද මීට බලපෑ සෙසු හේතු විය.
තවද, විදුලිබල මණ්ඩලය විදුලිය අළෙවි කිරීමේදී අය කරන ගාස්තු ක්‍රමය වසර 9කින් සංශෝධනය නොවීම, නව තාක්ෂණයට අනුගත වීමේ දුර්වලතා මෙන්ම තරගකාරී වෙළෙඳ පොළ ක්‍රමයක් මත පදනම් විදුලි උත්පාදන වෙළෙඳ පොළක් නිර්මාණය වී නොතිබීම යන කරුණු ද ශ්‍රී ලංකාව තුළ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රගමනයට බාධා වී ඇති කරුණු සහ ඇති වූ විදුලි අර්බුදයට හේතු වශයෙන් හඳුනා ගත හැකි ය.
(ii) අඩු වියදම් නව බලාගාර සැලසුම් සහගතව ඉදිකිරීම ප්‍රමාද වීම හෝ අත්හිටුවීම, කාලගුණික විපර්යාස, අය ක්‍රමය වසර 9කින් සංශෝධනය නොවීම සහ වියදම් ආවරණය වන ගාස්තු ක්‍රමයක් නොමැති වීම මත පැය 24 පුරා විදුලි බලය උත්පාදනය කිරීමේ අර්බුදයක් ඇති විය හැකි බව විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයේ පාලන පද්ධතිය -system control - විසින් අවස්ථා කිහිපයකදී පුරෝකථනය කර සහ අනතුරු හැඟවීම් සිදු කර ඇත.
(iii) ඔව්.
අඩු වියදම් විදුලි බලාගාර ජාතික පද්ධතියට එකතු කිරීම තුළින් විදුලි බිල අඩු කිරීම සඳහා මෙන්ම, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා එක්ව බලශක්ති පිරිමැසුම් ක්‍රම ක්‍රියාවට නැංවීම හා උපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ බලශක්ති කාර්යක්ෂම උපකරණ හඳුන්වා දීම වැනි ක්‍රියාමාර්ග මඟින් විදුලි ඉල්ලුම පාලනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත.
මෙම වසරේදී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන ලද මෙගාවොට් 35ක ධාරිතාවෙන් යුත් බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාරය සහ නුදුරු අනාගතයේදී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත මෙගාවොට් 122ක ධාරිතාවකින් යුත් උමා ඔය ජල විදුලි බලාගාරය ඊට උදාහරණ වශයෙන් දැක්විය හැක.
මීට අමතරව, දකුණු ප්‍රදේශයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස ඉදිකර ඇති කිලෝමීටර 150ක් පමණ වන පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන කිලෝවොට් 220ක රැහැන් මාර්ගය 2023 අගෝස්තු 24වන දින ජාතික විදුලි පද්ධතියට එක් කරනු ලැබීය. තවද, මුල් අදියරේදී මොගාවොට් 200ක සහ පසුව මෙගාවොට් 350ක ධාරිතාව දක්වා ඉහළ නැංවිය හැකි අයුරින් ස්ථාපනය කරනු ලබන කෙරවලපිටිය සොබාදනවි චක්‍රීය ස්වාභාවික වායු බලාගාරය 2024 මාර්තු වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත ය.
වියදම් අනුරූපී අය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මඟින් සැපයුම්කරුවන්ට කාලීනව ගෙවීමේ හැකියාව ඇති කර ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට විදුලිය මිල දී ගැනීමේ නව ක්‍රමයක් සහ නව නීති හඳුන්වා දී ඇත.
අක් වෙරළ සුළං විභව මත සංවර්ධන කටයුතු සිදු කිරීම, පුනර්ජනනීය බලශක්තිය හරිත හයිඩ්‍රජන් බවට පරිවර්තනය සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලි රැහැන් පද්ධතියක් සමඟ සම්බන්ධ කිරීම ද දිගු කාලීන විසඳුම් ලෙස හඳුනාගෙන ඇත.
(iv) වසර දෙකකට වරක් සමාලෝචනය කිරීමට යටත්ව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරි වසර 20ක කාලය තුළ ජාතික පද්ධතියට එකතු කළ යුතු බලාගාර පිළිබඳ දිගු කාලීන අවම වියදම් බලාගාර ඉදිකිරීමේ සැලැස්මක් - Least Cost Long-Term Generation Expansion Plan - සකස් කර ඇත.
2030 වසර වන විට සියයට 70ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් විදුලිය උත්පාදනය කිරීම, අනාගතයේ දී ගල් අඟුරු බලාගාර ඉදිනොකිරීම සහ 2050 වන විට ශ්‍රී ලංකාවේ කාබන් උදාසීන රාජ්‍යයක් බවට පත් කිරීම යන රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව 2023-2042 සඳහා වූ සැලැස්ම සකස් කොට එය මෙම වසරේ සිට ක්‍රියාවට නැංවීමට දැනට කටයුතු සම්පාදනය කොට ඇත.
ගරු කථානායකතුමනි, 2040 වන විට ශ්‍රී ලංකාව කාබන් උදාසීන රාජ්‍යයක් බවට පත් කළ යුතු බව ගරු ජනාධිපතිතුමා මීට සති දෙකකට පෙර යෝජනා කරලා තිබෙනවා. එම සැලැස්මට අනුගත වෙමින් 2030 වර්ෂය දක්වා කාලය තුළ අදියර දෙකකින්, එනම් 2023 සිට 2026 දක්වා සහ 2027 සිට 2030 දක්වා පිළිවෙළින් මෙගාවොට් 2,534ක් සහ මෙගාවොට් 3,075ක් ලෙස පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.
එමෙන්ම, වහල මත ඉදිකරනු ලබන සූර්ය පැනල භාවිත කිරීම දිරි ගන්වනු වස් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් උපරිම සහන ලබා දී ඇත. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබා ගැනීමට අපේක්ෂිත, 2023 සිට 2026 සහ 2027 සිට 2030 දක්වා කාල සීමා තුළ ස්ථාපිත කිරීමට නියමිත විදුලි බලාගාර පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මේ සමඟ ඉදිරිපත් කරමි.
එම ලේඛනය මම සභාගත* කරනවා.
අනාගතයේ දී තවදුරටත් අඩු වියදම් ස්වාභාවික වායු බලාගාර පද්ධතියට එකතු කිරීමට සැලසුම්කොට ඇති අතර, දැනට ඩීසල් හෝ දැවිතෙල් මඟින් ධාවනය වන බලාගාර කිහිපයක් ස්වාභාවික වායු මඟින් ධාවනය කළ හැකි වන පරිදි අවශ්‍ය වෙනස්කම් කිරීමට ද සැලසුම් කොට ඇත.
මෙම වසරේ සකස් කරන ලද 2023-2042 කාලීන අවම වියදම් බලාගාර පුළුල් කිරීමේ සැලැස්මට අනුගතව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දිගු කාලීන සම්ප්‍රේෂණ පද්ධතිය සංවර්ධනය කිරීමේ සැලැස්මක් ද සකස් කර ඇති අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මඟින් උත්පාදනය කරනු ලබන විදුලිය ඉහළ විදුලි ඉල්ලුමක් සහිත නාගරික ප්‍රදේශ දක්වා සම්ප්‍රේෂණය කිරීමට එමඟින් පහසුකම් සැලසෙනු ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-09-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks