04

E   |     |  

 දිනය: 2023-08-25   පිළිතුර ලබා දී ඇත 

2693/2023: හෝමියෝපති වෛද්‍යවරු: ලියාපදිංචි කිරීම

2693/2023

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      හෝමියෝපති වෛද්‍ය ක්‍රමය,  අතුරු ආබාධ රහිත, බොහෝ රෝග සුව කිරීමට හැකියාවක් ඇති වෛද්‍ය ක්‍රමයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වී ඇති බවත්;‍

             (ii)      වෛද්‍ය ප්‍රතිකාරවල නියුතු වී සිටින දක්ෂ හෝමියෝපති වෛද්‍යවරුන්ට වර්ෂ ගණනාවක සිට ලියාපදිංචිය ලබා දී නොමැති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) වර්ෂ ගණනාවක සිට ලියාපදිංචිය අපේක්ෂාවෙන් සිටින හෝමියෝපති වෛද්‍යවරුන්ට ලියාපදිංචිය ලබාදීම සඳහා සකස්කර ඇති වැඩපිළිවෙළ කවරේද;

(ii) ප්‍රායෝගික පරික්ෂණයක් තුළින් එම වෛද්‍යවරුන්ගේ දැනුම පරික්ෂා කර ඔවුන්ට ලියාපදිංචිය ලබා දිය හැකිද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) හෝමියෝපති වෛද්‍ය ක්‍රමය දියුණු කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

(ii) හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නේද;

(iii) හෝමියෝපති විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කිරීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-25

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යනු, අතුරු ආබාධවලින් තොර වෛද්‍ය ක්‍රමයක් වන අතර, බාල, මහලු, තරුණ ආදී සියලුම කාණ්ඩවල රෝගීන්ට සැකයකින් තොරව භාවිත කළ හැකි වෛද්‍ය ක්‍රමයකි. බෝවන රෝග, බෝ ‍නොවන රෝග ඇතුළු එදිනෙදා ඇති වන සියලුම රෝගාබාධ සඳහා ප්‍රතිකාර හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ ඇත.

              (ii)      2016 අංක 10 දරන පනතට අනුව පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධි සහ ඩිප්ලෝමා හදාරා ඇති වෛද්‍යවරුන්ට ලියාපදිංචිය ලබා ගැනීමට අවස්ථාව ඇති අතර, 2020 සැප්තැම්බර් 09 වන දින නව වෛද්‍ය සභාව පත් කළ පසු උපාධිධාරි වෛද්‍යවරුන් 25දෙනෙකු සඳහා ලියාපදිංචිය මේ වන විට ලබා දී ඇත.

එසේම, 2016 අංක 10 පනතේ 30(1) වගන්තියට අනුව විභාගයක් පවත්වා අවුරුදු 5කට වඩා කාලයක් හෝමියෝපති ක්‍රමයේ නියැළෙන වෛද්‍ය වෘත්තිකයන්ට ලියාපදිංචිය ලබා දීමට නියම කර ඇති අතර, ඒ අනුව මේ වන විට පැවැත්වූ විභාගය සමත් වෘත්තිකයින් 27දෙනෙකු සඳහා ලියාපදිංචිය ලබා දී ඇත. දෙවන වරට විභාගය පැවැත්වීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

(ආ) (i) නියමිත අධ්‍යාපන සුදුසුකම් වන උපාධි සහ ඩිප්ලෝමා හදාරා ඇති වෛද්‍යවරුන්ට අදාළ අධ්‍යාපන කටයුතු අවසන් වූ පසුව ලියාපදිංචිය ලබාගත හැකිය. වසර ගණනාවක සිට ලියාපදිංචිය අපේක්ෂාවෙන් සිටින්නන් හෝමියෝපති උපාධි හෝ ඩිප්ලෝමාධාරින් නොවන බැවින්, වසර 5කට වඩා වෛද්‍ය වෘත්තිකයන් ලෙස කටයුතු කරමින් සිටින්නන්හට 2016 අංක 10 පනතේ 30(1) වගන්ති ප්‍රකාරව විභාගයක් පවත්වා ලියාපදිංචිය ලබා දී ඇති අතර, දෙවන වරට විභාගය පැවැත්වීමට අදාළ කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතී.

(ii) 2016 අංක 10 දරන පනත සහ රෙගුලාසිවලට අනුව ලිඛිත විභාගයක් පැවැත්විය යුතු වන අතර, ප්‍රායෝගික පරීක්ෂණයක් තුළින් ලියාපදිංචිය ලබා දීම සිදු කළ නොහැක.

(ඇ) (i) හෝමියෝපති වෛද්‍ය ක්‍රමය දියුණු කිරීම සඳහා ගෙන ඇති පියවරයන් වන්නේ,

හෝමියෝපති ප්‍රතිකාර නොමිලේ සිදු කරනු ලබන සායන 14ක් සහ හෝමියෝපති රෝහලක් මේ වන විට රජය මඟින් පවත්වාගෙන යනු ලබන අතර, ගාල්ල රත්ගම සායනය සහ පොළොන්නරුව සායනය වර්තමාන රජය යටතේ ආරම්භ කිරීම.

දිවයිනේ විවිධ ස්ථානවල නොමිලේ සායන පැවැත්වීම.

හෝමියෝපති ඖෂධ ශ්‍රී ලංකාව තුළ නිපදවීම ආරම්භ කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් පැවතීම.

ඉන්දියාවේ බටහිර බෙංගාල විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය හැදෑරීම සඳහා සෑම වසරකම ශිෂ්‍යත්ව 10ක් පිරිනැමීම.

කොල්කටාවේ පිහිටි ජාතික හෝමියෝපති ආයතනය හා සම්බන්ධව පර්යේෂණයන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පැවතීම.

(ii) ලියාපදිංචි සියලුම වෛද්‍යවරුන්ට තම ප්‍රතිකාර සිදු කිරිමට අවශ්‍ය ඖෂධ ආනයනය සඳහා හැකියාව පවතින අතර, වෛද්‍ය සභාව මඟින් එම වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත ඒ සඳහා අවශ්‍ය ලිපි නිකුත් කිරීම සිදු කරනු ලැබේ.

(iii) මේ වන විට ශික්ෂණ රෝහලකට අවශ්‍ය පහසුකම් කිසිවක් හෝමියෝපති රෝහල තුළ නොමැති බැවින්ද, වෛද්‍ය විද්‍යාලයක් සඳහා අවශ්‍ය කිසිදු පහසුකමක් නොමැති හෙයින්ද වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට අපහසුව පවතී.

කෙසේ වුවද, ඉන්දියානු විශ්වවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකාව තුළ හෝමියෝපති වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ සාකච්ඡා මේ වන විට සිදු කරමින් පවතී.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks