01

E   |     |  

 දිනය: 2023-05-24   පිළිතුර ලබා දී ඇත 

2622/2023: රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව: අක්‍රමිකතා

2622/2023

ගරු නීතීඥ මධුර විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වර්ෂ 2015 සිට 2019 දක්වා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ යම් අක්‍රමිකතාවයක්, අයථා පත්වීමක්, දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධි ක්‍රියාවක් සිදු වී තිබේද;

(ii) එසේ නම්, ඒවා වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත සඳහන් එක් එක් කරුණ හේතුවෙන් රජයට අහිමි වී ඇති මූල්‍ය, දේපල හා මානව සම්පත්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත (අ) (i) හි සඳහන් ක්‍රියා සඳහා වගකිව යුතු නිලධාරින් හඳුනාගැනීමට විමර්ශන සිදු කර තිබේද;

(ii) වගකිව යුතු නිලධාරින් හඳුනාගෙන ඇත්නම්, ඔවුන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iii) ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන නොමැති නම්, ඊට හේතු කවරේද;

(iv) ඉදිරියේදී ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගනු ලබන්නේද;‍

(v) ඉදිරියේදී  සිදු විය හැකි මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා  ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-24

අසන ලද්දේ

ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ යම් අක්‍රමිකතාවක්, අයථා පත්වීමක්, දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදු වූ බවට වාර්තා වී නොමැති අතර, 2019 වර්ෂයේ සිදු වූ නීති විරෝධී ක්‍රියා දෙකක් සහ අක්‍රමිකතාවක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත.

              (ii)      1.          නීති විරෝධී ක්‍රියා

I. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අවසරයකින් තොරව කාර්යාල වේලාවේදී කාර්යාලයෙන් පිටතට ගොස් විවාහයක් ලියාපදිංචි කිරීම.

II. මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් උප්පැන්න, විවාහ, මරණ සහතික නිකුත් කිරීමේදී සිදු කරනු ලබන අකටයුතුකම්.

2. අක්‍රමිකතා

හොරණ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ විවාහ, උපත් සහ මරණ සහතිකවල පරිවර්තන කටයුතු විධිමත් පරිදි සිදු නොකිරීම.

(iii) ඔව්.

නීති විරෝධී ක්‍රියා

මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අවසරයකින් තොරව කාර්යාල වේලාවේදී කාර්යාලයෙන් පිටතට ගොස් විවාහයක් ලියාපදිංචි කිරීම - රු.750.00ක දඩයකට ලක් වෙනවා.

(ආ) (i) ඔව්.

(ii) මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අවසරයකින් තොරව කාර්යාල වේලාවේදී කාර්යාලයෙන් පිටතට ගොස් විවාහයක් ලියාපදිංචි කිරීම - වගකිව යුතු නිලධාරියාගේ 2018 වර්ෂයේ වැටුප් වර්ධකය විලම්බනය කිරීම, රජයට අයවිය යුතු රු. 750.00 අයකර ගැනීම සහ නිලධාරියා ස්ථාන මාරු කිරීම.

(iii) විමර්ශන කටයුතු අවසන් නොවූ සිද්ධීන් සඳහා මේ වනතෙක් වගකිව යුතු නිලධාරින් හඳුනාගෙන නොමැති වීම.

(iv) ඔව්.

මූලික විමර්ශන සහ විධිමත් විනය පරීක්ෂණවල නිර්දේශ අනුව ආයතන සංග්‍රහය II කාණ්ඩයේ විධිවිධාන පරිදි ඉදිරි විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.

(v) දෙපාර්තමේන්තුව වෙත 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා ලැබී ඇති පැමිණිලි 465ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර ඇත.

මේ වන විට මූලික විමර්ශන 62ක් හා විනය කටයුතු 23ක් සිදු කරමින් පවතින අතර, විනය කටයුතු 7ක් අවසන් කර ඇත. 2022 වර්ෂයේ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයක් ස්ථාපනය කර ඇති අතර, මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් එම ඒකකය මඟින් වර්තමානයේදී කටයුතු සිදු කරනු ලබයි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-10-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks