E   |     |  

 දිනය: 2023-09-22   පිළිතුර ලබා දී ඇත 

2020/2023: මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය: පාඨමාලා

2020/2023

ගරු කිංස් නෙල්සන් මහතා,— වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මහපොළ අභ්‍යාස ආයතනය (මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය) ක්‍රියාත්මක වන බව දන්නේද;

             (ii)      එම ආයතනය විසින් මේ වනවිට පවත්වනු ලබන පාඨමාලා සංඛ්‍යාව කොපමණද;

(iii) එම එක් එක් පාඨමාලාව කවරේද;

(iv) එම ආයතනය ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධනයට යොදා ගනු ලබන ආකාරය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-22

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය, නාවික හා ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

              (ii)      106කි.

              (iii)      ඇමුණුමෙහි** සඳහන් වේ.

              (iv)      මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය මඟින් පවත්වනු ලබන සියලු පුහුණු වැඩසටහන් වරාය, නාවික සහ වෘත්තීය පුහුණු වශයෙන් ප්‍රධාන පුහුණු ධාරාවන් තුනක් යටතේ කාණ්ඩ කර පවත්වනු ලබයි. දැනට ස්ථාපිත සියලුම පුහුණු අංශ යටතේ මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වේ.

වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රය තුළ පවතින පුහුණු අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ සඳහා විවිධ පුහුණු වැඩසටහන් හඳුන්වා දෙමින් වරාය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව, ඵලදායීතාව ඉතාම ඉහළ මට්ටමෙන් පවත්වා ගැනීම සඳහාත්, එමඟින් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධනයට වරාය ක්ෂේත්‍රය සූදානම් කර ඇති අතර, ඉදිරියේදී එය වර්ධනය කිරීම සඳහාත් සැලසුම් කර ඇත.

නාවික හා නාවිකත්ව ක්ෂේත්‍රය තුළ දේශීය හා ජාත්‍යන්තරව පවතින රැකියා සඳහා ගුණාත්මක පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය කිරීමට විවිධ පුහුණු වැඩසටහන් හඳුන්වා දෙමින් නාවික හා නාවිකත්ව ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරව පවතින රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්හට අවස්ථා ලබා ගැනීමටත්, එමඟින් විදේශ විනිමය වැඩි-වැඩියෙන් උත්පාදනය කිරීමටත් හැකි වී ඇත. මෙම තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා විවිධ ජාත්‍යන්තර නෞකා හිමියන්ගේ ධනාත්මක ප්‍රතිචාර මත සාකච්ඡා පවත්වා ඇති අතර, ඉදිරියේදී සැලකිය යුතු සාකච්ඡා වට ප්‍රමාණයක් පැවැත්වීමටත් සැලසුම් කර ඇත. මෙමඟින් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධනයට නාවික හා නාවිකත්ව ක්ෂේත්‍රය සූදානම් කර ඇති අතර, ඉදිරියේදී මෙම තත්ත්වය වර්ධනය කිරීම සඳහා සැලසුම් කර ඇත.

වෘත්තීය පුහුණු ධාරාව යටතේ විවිධ රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, උසස් ජාතික තාක්ෂණික ආයතන, තාක්ෂණික විද්‍යාලයන්හි අධ්‍යයන කටයුතු කරනු ලබන උපාධි අපේක්ෂකයින්, උසස් තාක්ෂණ සහ තාක්ෂණ ඩිප්ලෝමාධාරින් සඳහා ගුණාත්මක සේවාස්ථ පුහුණු ලබා දීමටත්, පාසල් හැර යන ශ්‍රී ලාංකික දූ දරුවන් හට ඔවුන්ගේ සුදුසුකම් මත විවිධ ‍ක්ෂේත්‍රයන්හි ආධුනිකත්ව පුහුණුව ලැබීම සඳහාත් පහසුකම් සැලසීම සිදු කරයි. එමඟින් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධනයට උපාධි අපේක්ෂකයින්, උසස් තාක්ෂණ සහ තාක්ෂණ ඩිප්ලෝමාධාරින් මෙන්ම පාසල් හැර යන ශ්‍රී ලාංකික දූ දරුවන් වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය තුළින් සූදානම් කිරීම සිදු කරයි. මෙම සේවාස්ථ පුහුණු සහ ආධුනිකත්ව පුහුණු ගුණාත්මකව පැවැත්වීම සහ මෙම අභ්‍යාසලාභින් දේශීය හා ජාත්‍යන්තරව පවතින රැකියා අවස්ථා සඳහා සූදානම් කිරීම සඳහාත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කර ඇත. මෙමඟින් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධනයට වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය සූදානම් කර ඇති අතර, ඉදිරියේදී මෙම තත්ත්වය වර්ධනය කිරීම සඳහාද සැලසුම් කර ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2024-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks