01

E   |     |  

 දිනය: 2023-05-23   පිළිතුර ලබා දී ඇත 

1756/2023: සමාජ සේවා දෙපාර්තමේන්තුව: නිවාස සංවර්ධන වැ‍ඩසටහන

1756/2023

ගරු සමන්ප්‍රිය හේරත් මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන නිවාස සංවර්ධන වැ‍ඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;

(ii) එසේ නම්, නිවසක් ඉදිකර ගැනීම සඳහා එක් පවුලක් සඳහා ලබා දෙනු ලබන මුදල කොපමණද;

(iii) එම වැඩසටහන යටතේ මේ දක්වා නිවාස ආධාර ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(iv) වර්ෂයකට නිවාස ආධාර ලබා දෙනු ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;

(v) ඉහත වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේද;

(vi) ලබා දෙනු ලබන නිවාස ආධාර මුදල මේ වනවිට වැඩි කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-23

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් නිවාස සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන වෙන් නොවන බව කාරුණිකව සඳහන් කරමි.

                        නමුත් මෙම අමාත්‍යාංශය යටතේ ඇති, 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන් උදෙසා වූ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතට අනුව ආබාධ සහිත තැනැත්තන්ගේ සුභසාධනය නැංවීම සඳහා පිහිටුවා ඇති ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මඟින් ආබාධ සහිත තැනැත්තන් සඳහා නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. එම වැඩසටහන සුපිරි වාසනා සම්පත ලොතරැයි ආදායමෙන් ලැබෙන සියයට 5ක ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.

(ii) නව නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් 250,000ක් හා තිබෙන නිවාස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 150,000ක් වශයෙන් මෙම ආධාර මුදල් ලබා දේ.

(iii) ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය ‍මඟින් ක්‍රියාත්මක එම වැඩසටහන යටතේ මේ දක්වා ආබාධ සහිත පුද්ගලයින් 4,225දෙනෙකු සඳහා ආධාර ලබා දී ඇත.

(iv) 2022 වර්ෂයේදී පවුල් 150ක් සඳහා මෙම වැඩසටහන යටතේ ආධාර ලබා දී ඇත.

(v) මෙම නිවාස ආධාර වැඩසටහන සුපිරි වාසනා සම්පත ලොතරැයි ආදායමෙන් ලැබෙන සියයට 5ක ප්‍රතිපාදන සීමාව මත ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

(vi) නැත. දැනට ලබා දෙන ආධාර මුදල ඉදිරියේදී වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.

 

(ආ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුප පස්කුවල් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks