01

E   |     |  

 දිනය: 2023-10-17   පිළිතුර ලබා දී ඇත 

1719/2023: ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්: වැටුප් සහ දීමනා

1719/2023

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන්    ඇසීමට,— 

(අ)         (i)       ලංකා විදුලිබල මණ්ඩලයේ මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       වර්ෂ 2020 සිට මේ දක්වා එම සේවකයන්ට වැටුප් හා දීමනා ගෙවීම සඳහා සහ වෙනත් පහසුකම් ලබා දීම සඳහා වැය කර ඇති මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත කාල සීමාව තුළ මණ්ඩලයට කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම සේවකයන්ගේ නම් සහ ඔවුන්ට ගෙවන ලද මුදල කොපමණද;

(iii) ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රමාණවත් සේවකයන් පිරිසක් සිටින බැවින් කොන්ත්‍රාත් පදනම මත සේවකයන් බඳවාගැනීම අවම කිරීම සදහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-17

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       2023.06.30 දිනට අනියම්, කොන්ත්‍රාත් හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා ලංවිම අතර ඇති කරගත් ගිවිසුම ප්‍රකාරව අවශ්‍ය නිපුණතා සම්පූර්ණ අය ලංවිමට බඳවා ගැනීමේ පදනමින්  සේවය කරන NVQ පුහුණුවන්නන්ද ඇතුළුව මුළු ලංවිම සේවය කරනු ලබන සේවක සංඛ්‍යාව 23,808ක් වේ. මෙයින් 21,139ක් ස්ථිර සේවකයන් වේ.

     (ii) වර්ෂ 2020 සිට 2023 සැප්තැම්බර් මස දක්වා අනියම්, කොන්ත්‍රාත් හා NVQ පුහුණුවන්නන්ද ඇතුළුව මුළු ලංවිම සේවකයන්ට වැටුප් හා දීමනා ගෙවීම සඳහා සහ වෙනත් පහසුකම් ලබා දීම සඳහා වැය කර ඇති මුදල පහත පරිදි වේ.

 

2020 (රු.)

2021 (රු.)

2022 (රු.)

2023.09.30 දින දක්වා (රු.)

34,363,094,780

47,834,805,831

41,523,950,635

30,589,424,566

 

(ආ) (i) වර්ෂ 2020 සිට 2023 සැප්තැම්බර් මස දක්වා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන ඇති සේවකයන් සංඛ්‍යාව 81ක් වේ. එම එක් එක් වර්ෂවලදී කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සේවකයන් සංඛ්‍යාව පහතින් දක්වා ඇත.

 

2020

2021

2022

2023.09.30 දින දක්වා

27

17

06

31

2023දී කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සේවක සංඛ්‍යාව වැඩි වුණේ කුමක් නිසාද කියන එක අපි පහතින් දක්වා තිබෙනවා.

2023 වර්ෂය තුළ ලං.වි.ම. හි කටයුතු සඳහා කිසිදු සේවකයෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට අවශ්‍යතාවක් නොතිබුණත්, Sojitz පෞද්ගලික විදුලි බලාගාරය ලංවිමට මිල දී ගැනීමත් සමඟ එහි කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා වූ අවශ්‍යතාව මත එහි සේවය කළ 31දෙනෙක් වූ පුහුණු කාර්ය මණ්ඩලය ලංවිමට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන ඇත. 2020 වර්ෂයේ සිට 2023 සැප්තැම්බර් මස දක්වා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සේවකයින් සංඛ්‍යාව 81ක් වන අතර, ඒ අය අතරින් දැනට සේවයේ නියුතුව සිටින ගණන 56කි. මීට අමතරව 2020ට පෙර සිට කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගෙන මේ දක්වා සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව 36ක් වන අතර, මේ අනුව දැනට සේවයේ නියුතු මුළු කොන්ත්‍රාත් සේවක සංඛ්‍යාව 92කි. 

විශේෂයෙන්ම 2023ට පෙර මෙම බඳවා ගැනීම් සිදුකර ඇත්තේ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සඳහා වන අතර, එම ව්‍යාපෘති කළමනාකරණ ඒකකවල කාර්යයන් අවසන් වීමේදී සේවය අවසන් කිරීමට හැකි වන පරිදි, ස්ථාවර කාලීන කොන්ත්‍රාත් - fixed-term contract - පදනමින් මෙම බඳවා ගැනීම් සිදු කර ඇත. එලෙස බඳවාගත් අය යාන්ත්‍රික ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සිවිල් අධිකාරි, සමාජ ආරක්ෂණ නිලධාරි, ඉඩම් නිලධාරි, කාර්මික සහායක, රියැදුරු හා කම්කරු යන තනතුරු දරනු ලබයි.

(ii) 2020 වර්ෂයේ සිට 2023 සැප්තැම්බර් මස දක්වා කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයින් 81දෙනාගේ නම් ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

ඔවුන්ට ගෙවන ලද මුදල පහතින් දක්වා ඇත.

 

2020 (රු.)

2021 (රු.)

2022 (රු.)

2023.09.30 දින දක්වා (රු.)

9,780,547

42,198,016

64,162,903

59,266,046

(iii) ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව 26,783කි. 2023.06.30 දිනට ලං.වි.ම. ස්ථිර සේවක සංඛ්‍යාව 21,139ක් වන අතර, සේවක පුරප්පාඩු සංඛ්‍යාව 5,644කි.

2023 වර්ෂය තුළ කොන්ත්‍රාත් පදනම මත කිසිදු සේවකයෙකු බඳවා නොගත් අතර, අත්‍යවශ්‍ය තනතුරු සඳහා පමණක් සීමා සහිතව කොන්ත්‍රාත් බඳවා ගැනීම් සිදු කර ඇත්තේ විශේෂයෙන්ම ලං.වි.ම. සංවිධාන ව්‍යුහයට ස්ථිරව ඇතුළත් නොවන ව්‍යාපෘති කළමනාකරණ ඒකක සඳහා ය.

(ඇ) සියලු තොරතුරු ඉහත දක්වා ඇති බැවින් අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks