01

E   |     |  

 දිනය: 2023-11-23   පිළිතුර ලබා දී ඇත 

1643/2023: විශේෂ අවශ්‍යතා/ආබාධිත පුද්ගලයින්: මාසික දීමනාව

1643/2023

ගරු මිලාන් ජයතිලක මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ සිටින විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්/ආබාධිත පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඔවුන් වෙනුවෙන් ගෙවනු ලබන මාසික දීමනාව කොපමණද;

(iii) එම දීමනාව ගෙවීම සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී ඉහත පුද්ගලයන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේදැයි පසුවිපරම් සිදු කරන්නේද;

(ii) එම අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු නොකර දැනට ඉදිකර ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-23

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)

  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් 2012 වර්ෂයේදී පවත්වන ලද ජන සංගණනයේ ලද තොරතුරු අනුව ආබාධ සහිත පුද්ගල සංඛ්‍යාව 1,617,924කි.
  • 2012 වර්ෂයෙන් පසු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සංගණනයක් සිදු කර නොමැත.
  • ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මඟින් ආබාධ සහිත පුද්ගලයින් සංගණනයක් සිදු කිරීමට කටයුතු සිදු කිරීම සඳහා පැවති මූලික සාකච්ඡාවලදී අදාළ ආයතන මඟින් තීරණය කරන ලද්දේ සංගණනයක් කිරීමට විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් හා කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන බැවින්ද, 2023 වර්ෂයේදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සංගණනයක් සිදු කරන බැවින් එහිදී ආබාධ සහිත පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවය.
  • සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ දත්ත රැස් කරමින් පවතී.

 

(ii) අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයින් සඳහා,

  • මාසික රුපියල්  5,000ක නිත්‍ය දීමනාලාභීන්   -  72,000
  • මාසික රුපියල්  2,500ක අතිරේක දීමනා මුදල ලබන සංඛ්‍යාව  -   17,882

(මෙම පිරිස නිත්‍ය දීමනාව රුපියල් 5,000ද ලබා ගනී)

  • මාසික රුපියල් 5,000ක පොරොත්තු ලේඛනගත දීමනාලාභීන් -  16,139

(iii)

  • රුපියල් 5,000ක නිත්‍ය දීමනාලාභීන්  72,000 සඳහා - රුපියල්  මිලියන  4,320
  • රුපියල් 2,500ක අතිරේක දීමනා මුදල ලබන සංඛ්‍යාව 17,882 (මෙම පිරිස නිත්‍ය දීමනාව රුපියල් 5,000ද                 ලබා ගනී)   - රුපියල්  මිලියන  536,46
  • රුපියල් 5,000ක පොරොත්තු ලේඛනගත දීමනාලාභීන් 16,139    -   රුපියල් මිලියන  968.34
  • දීමනා ගෙවීම සඳහා වාර්ෂිකව වැය කිරීමට නියමිත මුදල - රුපියල් මිලියන 5,824.80

(ආ) (i) ඔව්.

  • රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ගොඩනැඟිලි නිර්මාණය කිරීමේදී ආබාධ සහිත තැනැත්තන්ගේ භෞතික ප්‍රවේශය තහවුරු කිරීම සඳහා 2006 අංක  1 දරන ප්‍රවේශ රෙගුලාසි ඇතුළත් අංක 1467/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2006 වසරේදී නිකුත්කොට ඇත.
  • ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක S.C.F.R. No 221/2009 හා S.C.F.R. No 273/2018 යටතේ පිළිවෙළින් 2013.06.17 හා 2019.04.18 දිනවල ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මඟින් ආබාධ සහිත තැනැත්තන්ට යෝග්‍ය වන පරිදි ප්‍රවේශ පහසුකම් සකස් කිරීම නීතිමය අවශ්‍යතාවක් වශයෙන් තීරණය කර ඇත.
  • 2012.10.14 දිනැති අංක අමප/09/0618/321/009 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ආබාධ සහිත තැනැත්තන්ගේ භෞතික ප්‍රවේශ වීමට අයිතිය ලබා දීමට පනවා ඇති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පිණිස ස්වකීය වාර්ෂික අය වැයෙන් අවශ්‍ය මුදල් වෙන් කිරීම මඟින් සහාය පළ කරන ලෙස සියලු අමාත්‍යාංශවලට දන්වා ඇත.
  • 2012.10.14 දිනැති චක්‍රලේඛ ලිපිය මඟින්ද සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ආබාධ සහිත තැනැත්තන්ට යෝග්‍ය වන පරිදි ප්‍රවේශ පහසුකම් සැපයිය යුතු බව දන්වා ඇත.
  • මේ සම්බන්ධයෙන් වරින් වර පුවත් පත් දැන්වීම්ද පළ කර ඇති අතර, අවසන් වරට 2020 මාර්තු 01 දින කාන්තා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය මඟින් පුවත් පත් දැන්වීම්ද පළ කර ඇත.
  • ඒ අනුව මේ සම්බන්ධයෙන් අදාළ සෑම රාජ්‍ය ආයතනයක්ම දැනුවත් කර ඇති අතර, (අමාත්‍යාංශ ලේකම්වරු/ දෙපාර්තමේන්තු ප්‍රධානින් / රාජ්‍ය බැංකු ප්‍රධානින්/ තැපැල්පති/පොලිස්පති ආදී නිලධාරීන්) 2021 වර්ෂයේදී මෙම ගැසට් පත්‍රය සහ අදාළ නඩු තීන්දුවල පිටපත් සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ වෙත මෙම අමාත්‍යාංශය මඟින් යොමුකොට දැනුවත් කිරීම් සිදුකොට ඇත.
  • v ජාත්‍යන්තර සම්මත ප්‍රමිතීන්ට අනුකූල වන ආකාරයට මෙම ප්‍රවේශ නියෝග මේ වනවිට සංශෝධනය කරමින් පවතී.

(ii)

  • නාගරික සංවර්ධන පනත යටතේ හා ඒ යටතේ සකස් කරන ලද රෙගුලාසි අනුව ගොඩනැඟිලි සම්බන්ධයෙන් අනුකූලතා සහතික ලබා දීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට හා පළාත් පාලන ආයතන වෙත පැවරී ඇත. 2006 අංක 1 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ ප්‍රවේශ රෙගුලාසි ඇතුළත් අංක 1467/15 අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව අනුකූලතා සහතික නොගෙන විවෘත කර ඇති ගොඩනැඟිලි සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතන සතුය.

(ඇ) පැනනොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුප පස්කුවල් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks