01

E   |     |  

 දිනය: 2023-03-24   පිළිතුර ලබා දී ඇත 

1630/2023: අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: විස්තර

1630/2023

ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ඉදිරියේදී ගුරු වෘත්තීය සඳහා උපාධිධාරීන් පමණක් බඳවාගැනීමට තීරණය කර තිබේද;

             (ii)      එසේ නම්, එම උපාධිධාරින්ට ගුරු පුහුණුවක් ලබා දෙන්නේද;

           (iii)      එම උපාධිධාරින් බඳවාගැනීමේදී ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ  දැනුම, ක්‍රීඩා කුසලතා හා සෞන්දර්යාත්මක හැකියාවන් සම්බන්ධයෙන් සලකා බලන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වෘත්තීය මූලික අධ්‍යාපන ක්‍රමයක් සඳහා විෂය නිර්දේශ සංශෝධනය කිරීමට පියවර ගන්නේද;

(ii) පාසල් සිසුන්ට වෘත්තීය පුහුණු අධ්‍යාපනය ලබා දීම සඳහා වෘත්තීය පුහුණු ගුරුවරුන් බඳවාගැනීමට කටයුතු කරන්නේද;

(iii) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-24

අසන ලද්දේ

ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        නැත.

  • අංක 1885/38 හා 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ 7.2.2 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා අ.පො.ස. (උසස් පෙළ) සමතුන්, ඩිප්ලෝමාධාරින්, ගුරු පුහුණුධාරින්, උපාධිධාරින් හා අධ්‍යාපනවේදී උපාධිධාරින් බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන පවතී.
  • මේ වන විට ඩිප්ලෝමාධාරින්, උපාධිධාරින් හා අධ්‍යාපනවේදී උපාධිධාරින් බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, උපාධිධාරින් පමණක් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් මෙතෙක් ගෙන නොමැත.

(ii) ඔව්.

  • අංක 1885/38 හා 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා පරිදි ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් හැර ගුරු සේවයට බඳවා ගන්නා සෑම අයෙකුටම දින විසිඑකක (21ක) සමාරම්භක පුහුණුවක් (නේවාසික) ලබා දිය යුතුය.
  • ඒ අනුව සෑම නව බඳවා ගැනීමකදීම සමාරම්භක පුහුණුව ලබා දෙනු ලැබේ. මේ අවස්ථාවේදී ගුරු සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරනු ලබන උපාධිධාරින් සඳහා ද වසර 01ක පූර්ව සේවා පුහුණු පාඨමාලාවක් ලබා දීමට කටයුතු කරමින් පවතී.

(iii) ඔව්.

  • උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා මේ වන විට අයදුම් පත් කැඳවා ඇති අතර, එම නිවේදනයෙන් ඒ ඒ විෂයයන් සඳහා සම්පූර්ණ කර තිබිය යුතු සුදුසුකම් ප්‍රසිද්ධ කර ඇත. ඒ අනුව එම සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් අයදුම් පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. එම සුදුසුකම් සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී පරීක්ෂා කර බලනු ලැබේ.
  • තවද, තෝරා ගනු ලබන මාධ්‍යයට අදාළව (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය) ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වනු ලබන අතර මෙම පරීක්ෂණය මඟින් ගුරුවරයෙකු සතු විය යුතු කුසලතා පිළිබඳව පරීක්ෂණයට ලක් කරනු ලැබේ.

(ආ) (i) ඔව්.

  • යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත. ඒ අනුව ජාතික සංවර්ධනයට දායක විය හැකි පුරවැසියෙකු බිහි කිරීම පිණිස නව විෂයමාලාවක් නිර්මාණය කිරීම සඳහා අනුමැතිය අමප/20/1247/308/006 අංක 2020/09/10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් දැනුම් දී ඇත. එය ඇමුණුම 01හි දක්වා තිබේ. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සාමාන්‍ය අධ්‍යාපනය සඳහා ජාතික විෂය මාලා රාමුවක් සකස් කර ඇත. එය ඇමුණුම 02හි දක්වා තිබේ. ඒ සඳහා ශ්‍රාස්ත්‍රීය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එම නව විෂයමාලාව තුළ සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය හා සම්බන්ධ වන ප්‍රවේශයන් නිර්මාණය කර ඇත.

ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට ඒවා පරිශීලනය කරන්න පුළුවන්.

  • යෝජිත නව විෂයමාලාව තුළ සිසුන්ගේ හැකියා හා ළැදියා අනුව මූලික වෘත්තීය නිපුණතාවන් හඳුනා ගැනීමටත්, ඒ අනුව අදාළ ක්ෂේත්‍රයන් යටතේ වැඩිදුර අධ්‍යාපන අවස්ථා හඳුන්වා දීමටත් කටයුතු කර ඇත.
  • මේ අනුව සෑම විෂය ක්ෂේත්‍රයක් යටතේම හඳුන්වා දී ඇති වැඩිදුර ඉගෙනුම් මොඩියුල මෙන්ම තාක්ෂණවේදය විෂය යටතේ විශේෂයෙන් හඳුන්වා දී ඇති වෘත්තීය අධ්‍යාපන මොඩියුල මගිනුත් වෘත්තීය මූලික අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරනු ලැබේ. මෙම මොඩියුල සකස් කිරීම සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හා අදාළ එක් එක් වෘත්තීය ක්ෂේත්‍ර හෝ කර්මාන්තවල ප්‍රවීණයන් සම්බන්ධ කරගෙන ඇත.
  • මීට අමතරව 6වන ශ්‍රේණියේ සිට ඉහළ සිසුන්ට වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීමටත්, වෘත්තීය අධ්‍යාපන ප්‍රවේශ සඳහා අවස්ථා පුළුල් කිරීමටත් සැලසුම් සකස් කරමින් ඇත.

(ii) නැත.

  • රටේ පවතින වර්තමාන ආර්ථික වාතාවරණය තුළ ගුරුවරුන් බඳවා ගැනීමේ හැකියාව වෙන් කර තිබෙන ප්‍රතිපාදනවලින් පරිබාහිරව කළ නොහැකි බැවින් මේ වන විට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් අතුරින් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත නිලධාරින්ගෙන් සුදුසුකම් ලත් උපාධිධාරින්, දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය සඳහා වන වෘත්තීය විෂයයන් සඳහා හා තාක්ෂණවේදය විෂය ධාරාවට ද බඳවා ගැනීමට නියමිත ය.
  • මෙයට අමතරව මේ වන විට ගුරු සේවයේ කටයුතු කරන ගුරුවරුන් සඳහා සුදුසුකම් අනුව ශ්‍රේණිගත කිරීම සිදු කොට, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ හා අනෙකුත් වෘත්තීය පුහුණු ලබා දෙන ආයතන මගින් න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව පුහුණුව ලබා දී වෘත්තීය විෂය ධාරාවට අවශ්‍ය වන ගුරුවරු පුහුණු කර ගැනීම සඳහා යෝජනා සකස් කරමින් ඇත.

(iii) ඔව්.

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සැලසුම් කිරීමේදී පළමුව ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් පත් කරන ලද අතර ඒවා මගින් ලබා දුන් යෝජනා සඳහා මහජන අදහස් ලබා ගෙන ඇත. ඒ අනුව දැනට නියමු ව්‍යාපෘතිය සඳහා කටයුතු කිරීමට සැලසුම් කර ඇත. මෙහිදී කෙටුම්පත් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා මහජන අදහස් ලබා ගැනීම සඳහා ඩිජිටල් වේදිකාවක මාස තුනක කාලයක් ප්‍රදර්ශනය කරන ලදී. ‍එමෙන්ම දිවයිනේ සෑම පළාතකම රැස්වීම් වැඩමුළු හා සම්මන්ත්‍රණ පවත්වා තවදුරටත් මහජන අදහස් හා යෝජනා ලබා ගන්නා ලදී.
  • මෙයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සිදු කරන ලද අතර, එහිදී කරන ලද යෝජනා අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ නැවතත් මහජන අදහස් ලබා ගැනීම සිදුකරන ලදී.
  • විෂයමාලා ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත නියමු වැඩසටහන යටතේ දෙමව්පියන්ගේ හා සමස්ථ පාසල් ප්‍රජාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිතය.

(ඇ)  අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2023-04-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks