පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1333/2023
ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සබරගමුව පළාතේ නිෂ්පාදනය කරනු ලබන එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමේදී හා අලෙවි කිරීමේදි සිදු වන පසු අස්වනු හානිය පිළිබඳ ගණනය කර තිබේද;
(ii) එසේ නම්, එම හානිය මූල්‍යමය හා ප්‍රමාණාත්මකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉදිරියේදී පසු අස්වනු හානි වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-17
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) සබරගමුව පළාතේ නිෂ්පාදනය කරන එළවලු සහ පලතුරු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අළෙවිය සඳහා ප්‍රවාහනය කරනු ලබන අතර, එම විවිධ අවස්ථාවලදී ඒවායේ පසු අස්වනු හානිය සිදුවේ. විශේෂයෙන්ම සබරගමුව පළාතට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් විශාල වශයෙන් වගා කරන අතර, එම නිෂ්පාදන ද දිවයින පුරා බෙදා හරිනු ලබයි. එමෙන්ම එම ප්‍රදේශවල නිෂ්පාදනය පදනම් කරගෙන එළවලු සහ පලතුරුවල ප්‍රවාහනය කිරීමේදී සහ අළෙවි කිරීමේදී පසු අස්වනු හානිය ගණනය කර ඇත.
(ii) මීට පෙර සබරගමුව පළාතේ නිෂ්පාදනය කරනු ලබන එළවලු සහ පලතුරුවල පසු අස්වනු හානිය සියයට 30-40ක අතර වැනි විශාල අගයක් ගෙන තිබුණත්, දැනට කරන ලද අධ්‍යයනය අනුව එම හානිය පලතුරුවල සියයට 15-20ක අතර ප්‍රමාණයක් සහ එළවළුවල සියයට 20-30ක අතර ප්‍රමාණයකට අඩු වී ඇති බව සනාථ වී ඇත. ඒ අනුව, සබරගමුව පළාතේ එළවලුවල වාර්ෂික හානිය මෙට්‍රික් ටොන් 11,000ක් පමණ වන අතර, එහි වටිනාකම වාර්ෂිකව රුපියල් මිලියන 2,827ක් පමණ වේ. එමෙන්ම, වාර්ෂිකව පලතුරු නිෂ්පාදනයෙන් මෙට්‍රික් ටොන් 25,000ක පමණ ප්‍රමාණයක් නාස්ති වන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 1,482ක් වේ. (මෙම වටිනාකම ගණනය කිරීමේදී වර්තමානයේ පවතින මිල ගණන් පදනම් කරගෙන ඇත. - 2023 ඔක්තෝබර් මස මුල් සතියේ.)
(මූලාශ්‍ර : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, AgStat - 2021, ආර්ථික මධ්‍යස්ථාන)
(iii) සබරගමුව පළාතේ එළවලු සහ පලතුරුවල පසු අස්වනු හානි වැළැක්වීම සඳහා මේ වන විටද විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ඉදිරියේදී පසු අස්වනු හානිය වළක්වා ගැනීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත.
l එළවලු සහ පලතුරු ප්‍රවාහනයේදී සිදු වන හානි වළක්වා ගැනීම සඳහා ගොවීන්හට සියයට 50ක සහනාධාරයක් යටතේ ප්ලාස්ටික් කූඩ (ඇසුරුම් සඳහා) ලබා දී ඇත.
l පළාත් නිශ්චිත කාර්ය සංවර්ධන ප්‍රදාන (PsDGs) යටතේ ඵල ආවරණ ලබා දී ඇත. (අඹ, පේර, දෙළුම්, ඩ්‍රැගන් ෆෘට්, කෙසෙල්, පැපොල් ආදී පලතුරු සඳහා)
l යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘති (GAP) යටතේ මැහි බෝග (කරවිල, පතෝල, වැටකොළු වැනි) සඳහා පොලිතීන් ආවරණ යෙදීම් සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම සහ අඹ, දෙළුම්, ඩ්‍රැගන් ෆෘට් වැනි පලතුරු සඳහා ඵලාවරණ ලබා දීම සිදු කර ඇත.
මෙම පළාත තුළ පසු අස්වනු හානි වැළැක්වීම සඳහා අඛණ්ඩව උක්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
l ගොවීන්, තොග වෙළෙඳුන්, ප්‍රවාහනකරුවන් වැනි ඍජු පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව එළවලු හා පලතුරු නිවැරදි තාක්ෂණය යොදාගෙන අස්වනු නෙළන ආකාරය පිළිබඳව ගොවීන් දැනුවත් කරන අතර, ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව සිටින ප්‍රවාහනකරුවන්, එළවලු, පලතුරු එක්රැස් කරන්නන්, තොග වෙළෙන්දන්හට පසු අස්වනු හානිය අවම කරගත හැකි අයුරින් කෘෂි නිෂ්පාදන පරිහරණය කරන නිවැරදි ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මඟින් සබරගමුව පළාතේ පාර්ශ්වකරුවන් 20,000කට අධික ප්‍රමාණයක් පුහුණු කර ඇත. තවද, පසු අස්වනු හානිය අඩු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමේ වැඩසටහන්ද විශාල ප්‍රමාණයක් පවත්වා ඇති අතර, අඛණ්ඩව වැඩසටහන් පවත්වාගෙන යනු ලබයි.
l එළවලු, පලතුරු ප්‍රවාහනයේදී සිදු වන හානිය අවම කිරීම සඳහා සුදුසු ඇසුරුම් ක්‍රම හඳුන්වා දීම. එළවලු, පලතුරු ප්‍රවාහනයේදී වැඩිපුරම හානිය සිදු වන්නේ නුසුදුසු ඇසුරුම් භාවිතය තුළින් නිසා, ආරක්ෂිත ඇසුරුම් යොදාගෙන එළවලු හා පලතුරු ප්‍රවාහනය කිරීම මඟින් පසු අස්වනු හානිය විශාල ලෙස අඩු කරගත හැකි බව මේ වන විට සනාථ වී ඇත. මේ නිසා එළවලු, පලතුරු සැපයුම් දාමයේ සියලුම පර්ශ්වකරුවන්ට; එම ක්ෂේත්‍රයට ආරක්ෂිත ඇසුරුම් 10,000කට අධික ප්‍රමාණයක් මෑත කාලයේ රජය විසින් ලබා දී ඇත. තවද, ආරක්ෂිත ඇසුරුම් ලබා දීම සඳහා මෙම වර්ෂයේදී රුපියල් මිලියන 45ක් වෙන් කර ඇත.
l අතිරික්ත නිෂ්පාදන භාවිත කොට අගය වැඩි කිරීමේ ව්‍යවසායකයින් බිහි කිරීම. ඒ අනුව සමහර කාලවල එළවලු සහ පලතුරු නිෂ්පාදනය වැඩි වීමෙන් වැඩිපුර නාස්තියක් සිදු වේ. එමෙන්ම, තොග වෙළෙඳ පොළවල්වල අළෙවි කර ගැනීමට නොහැකි වන හොඳ තත්ත්වයේ නිෂ්පාදන ඉවත දැමීමට සිදු වේ. මෙසේ අළෙවි කරගත නොහැකි එළවලු හා පලතුරු යොදාගෙන අගය එකතු කළ නිෂ්පාදන කිරීම මඟින් හානිය අවම කරගත හැකි නිසා මෙම තාක්ෂණික ක්‍රම පිළිබඳව ප්‍රතිලාභීන් 3,000කට අධික ප්‍රමාණයක් පුහුණු කර ඇති අතර, ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් නව ව්‍යාපාර ආරම්භ කර ඇත.
l පලතුරු ඉදවීමේ නිවැරදි තාක්ෂණය හඳුන්වා දීම. ඒ අනුව දැනට පලතුරු ඉදවීම සඳහා භාවිත කරනු ලබන වැරදි ක්‍රමවේද නිසා පලතුරුවල පසු අස්වනු හානිය විශාල ලෙස ඉහළ ගොස් ඇත. එම තත්ත්වය අවම කර ගැනීම සඳහා නිවැරදි ලෙස පලතුරු ඉදවීමට යොදා ගන්නා පලතුරු ඉදවීමේ තාක්ෂණය සහිත කෙසෙල් සැකසුම් ඒකක 15ක ප්‍රමාණයක් සබරගමුව පළාතේ මාවනැල්ල හා ඇඹිලිපිටිය ප්‍රදේශ ආශ්‍රිතව ස්ථාපිත කර ඇත. මෙමඟින් මේ වන විට පලතුරුවල පසු අස්වනු හානිය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.
උදා:- දැනට තාක්ෂණය ලබා දී ඇති පාර්ශ්වකරුවන්ගේ අඹවල පසු අස්වනු හානිය සියයට 39 සිට සියයට 6 දක්වා අඩු වී ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-10-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks