E   |     |  

 දිනය: 2022-11-08   පිළිතුර ලබා දී ඇත 

3261/2022: බේරුවල සිට හික්කඩුව දක්වා වෙරළ තීරය: සංරක්ෂණය

----

අසන ලද දිනය

2022-11-08

අසන ලද්දේ

ගරු මර්ජාන් ෆලීල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      බේරුවල සිට හික්කඩුව දක්වා වෙරළ තීරයේ බේරුවල, බෙන්තොට, අම්බලන්ගොඩ - ඌරවත්ත, පැරෑලිය, කහව සහ හික්කඩුව වෙරළ තීරයන් පසුගිය වර්ෂවලදී වෙරළ ඛාදනය වීම් වාර්තා වී ඇත.

                        බේරුවල ප්‍රදේශයේ හෝටල් ආශ්‍රිත ප්‍රදේශය ස්ථාන කිහිපයක ඛාදනය සිදු විය. එම ස්ථානවල ගල් යොදා වෙරළ ආරක්ෂා කර තිබුණත් එම ගල් ගිලා බැසීම හා රළෙහි රළු ස්වභාවය හේතුවෙන් එම ස්ථාන අස්ථායී වී ඇත. හදිසි වෙරළ ආරක්ෂණය යටතේ නැවතත් කළු ගල් යොදා ශක්තිමත් කරන ලදී.

බෙන්තොට හෝටල් පිහිටා ඇති වැලිපරය ඉතා පුළුල් වන නමුත් 2022 වර්ෂයේදී වෙරළින් වැලි ඉවත්වීම සිදු වූ අතර, වෙරළ පාර මීටර් 250ක් පමණ බලපෑමට ලක් විය. ඒ සඳහා හදිසි වෙරළ ආරක්ෂණ ක්‍රමවේදයක් වන වැලි මලු යොදා ආරක්ෂා කරන ලදී. මේ වන විට නැවතත් වෙරළ තීරය නිර්මාණය වෙමින් පවතී. 2022 වර්ෂයේ පමණක් සිදු වූ මෙම වෙනස්වීම තවදුරටත් අධීක්ෂණය කිරීමෙන් අනතුරුව වෙරළ ආරක්ෂා කිරීම පිළිබඳ  තීරණය කරනු ලැබේ.

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේද මධ්‍යස්ථ මට්ටමේ වෙරළ ඛාදනයක් දක්නට ලැබෙන අතර, හදිසි වෙරළ ආරක්ෂණ ක්‍රම යොදා තාවකාලිකව ආරක්ෂා කර ඇත. තවද, මෙම වෙරළ තීරයේ පිහිටා ඇති මධ්‍යම ප්‍රමාණයේ හෝටල් කිහිපයක් ඔවුන්ට අයත් වෙරළ තීරයන් පෞද්ගලික වියදමින් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ආරක්ෂා කර ගැනීමට කටයුතු කර ඇත.

කහව පැරෑලිය ප්‍රදේශයේ දැනටමත් ගල් වැටි යොදා ආරක්ෂා කර ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු රළෙහි උපරිම අවස්ථාවන්වල ගොඩබිමට මුහුදු ජලය ගලා ඒම සිදු වන අතර, එම අවස්ථාවන් පාලනය කළ නොහැක. එහෙත් ආරක්ෂක වැටි හේතුවෙන් ආපදාව අවම කර ඇත.

හික්කඩුව, වෑවල සිට තිරාණගම දක්වා කිලෝමීටර් එකක පමණ වෙරළ තීරයක්ද ඛාදන බලපෑමට ලක්ව ඇත. පසුගිය වර්ෂවලද ඛාදනය වීම වාර්තා විය. පසුගිය වර්ෂවල භූ සළු මෙන්ම වැලි මලු යොදා තාවකාලික පිළියම් යොදන ලදී. මධ්‍යම ප්‍රමාණයේ හෝටල් පවතින අතර සමහර හෝටල් පෞද්ගලික වියදමින් දෙපාර්තමේන්තු අනුමැතිය අනුව ගේබියන් බැමි යොදා ආරක්ෂා කරගෙන ඇත. 2022 වර්ෂයේ වඩාත් ඛාදන ශීඝ්‍රතාවය ඇති හික්කඩුව වෑවල ප්‍රදේශයේ මීටර් 500ක් ආරක්ෂා කර ගැනීම සඳහා වෙරළාරක්ෂක ව්‍යුහ ඉදි කිරීමට සැලසුම් කර තිබූ නමුත්, ප්‍රතිපාදන අවම කිරීම හේතුවෙන් නැවත 2023 වර්ෂයේ ඉදි කිරීම් සඳහා ප්‍රතිපාදන ඉල්ලුම් කර ඇත.

(ii) හික්කඩුව, පැරෑලිය, කහව, ඌරවත්ත ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කරනු ලැබේ. මේ වන විට වෙරළ තීරය පටු වීම ධීවරයන්ට යම් අපහසුතාවක් ඇති කර ඇත.

වෙරළ ආරක්ෂණ ක්‍රමවේද නිර්මාණය කරනු ලබන්නේ ප්‍රදේශයේ පාරිසරික, සාමාජීය හා ආර්ථික කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමෙන් වේ. එබැවින් බොහෝ දුරට ධීවර අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින් ස්ථිර වෙරළ ආරක්ෂණය කරනු ලැබේ.

(ආ) (i), (ii), (iii)  ඉහත ඛාදන ශීඝ්‍රතාව වැඩි හික්කඩුව ප්‍රදේශය සඳහා ප්‍රතිපාදන 2023 වර්ෂයේ ඉල්ලා ඇති අතර, යෝජිත ඉදි කිරීම් 2023 වර්ෂයේ අවසාන කිරීමට සැලසුම් කර ඇත. තවද, අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශය සඳහාද ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කර ඇත. අනෙක් වෙරළ තීරයන් සඳහා හදිසි වෙරළ ඛාදන පිළියම් සඳහා ලැබෙන ප්‍රතිපාදන යොදා ගැනීමට අපේක්ෂිත වේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks