E   |     |  

 දිනය: 2022-10-18   පිළිතුර ලබා දී ඇත 

3164/2022: ලංකා විදුලිබල මණ්ඩලය: 2020 - 2022 දක්වා අලාභය

----

අසන ලද දිනය

2022-10-18

අසන ලද්දේ

ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යවස්ථාපිත ගිණුම්වලට අනුව, 2020 සිට 2022 අගෝස්තු දක්වා කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ මූල්‍ය අලාභය පහත පරිදි වේ.

වර්ෂය

බද්දෙන් පසු ලාභය  / (අලාභය) (රු.මිලියන)

2020

(60,486)

2021

(21,450)

2022 (2022.08.31 දක්වා)

(108,670)

(ii)

(1) ලංකා විදුලිබල මණ්ඩලය දැනට අත් විඳින පාඩුවට එක් ප්‍රධාන හේතුවක් වනුයේ පිරිවැය නිරූපණය වන පරිදි ගාස්තු අය කිරීමට ඉඩ ප්‍රස්ථා නොලැබීමයි.

(2) අවම පිරිවැය සහිත බලශක්ති උත්පාදනය කරනු ලබන ව්‍යාපෘති පසුගිය වර්ෂයේදී ක්‍රියාවට නංවා නොමැති වීම හේතුවෙන් වෙනත් විකල්පයන් කඩිනමින් සොයාගැනීමට අපහසු වීම මත මිල අධික බලශක්ති උත්පාදන මූලාශ්‍ර භාවිත කිරීමට සිදුවීම තවත් එක් ප්‍රධාන හේතුවකි.

(කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාරවලින් හා සුළං විදුලි බලාගාරවලින් සහ සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය [අවම පිරිවැය බලශක්ති උත්පාදන ප්‍රභවයන්] බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා දුන් දායකත්වය 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ පාඩුව අවම කිරීමට සාධනීය ලෙස බලපෑවේය.) 

(3) වෙළෙඳ පොළේ ඉන්ධන සහ ගල් අඟුරු මිල සැලකිය යුතු ලෙස ඉහළ අගයන් ගැනීම හේතුවෙන් තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවීම ප්‍රධාන වශයෙන් 2022 වසර තුළ ඍජු උත්පාදන පිරිවැය ඉහළ යෑමට බලපා ඇත. (2022 දී 2022.08.31 දක්වා පාඩුව රුපියල් බිලියන 108.67කි.)

(4) ඉතිහාසයේ කිසිදා නොවූ විරූ අන්දමින් ගල් අඟුරු මිල සහ ඉන්ධන මිල අධික ලෙස ඉහළ යෑම සහ රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ වශයෙන් මෑත කාලීනව ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍යමය තත්ත්වය පිරිහීමට බරපතළ ලෙස බලපෑ කරුණු වේ.

(2022.08.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දීමත් සමඟ සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක කිරීම මඟින් ලංකා විදුලිබල මණ්ඩලයට මසකට රුපියල් බිලියන 15ක අමතර ආදායමක් උපයා ගැනීමට හැකි වෙතැයි ඇස්තමේන්තු කර ඇත. ගාස්තු සංශෝධනයෙන් පසුවද ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව රුපියල් බිලියන 152ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.)

 

(iii) මා විසින් ඉදිරිපත් කරන ලද අංක 22/1089/621/008 දරන 2022.07.29 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බැලීමෙන් අනතුරුව, 2022.08.01 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය 2002 අංක 28 දරන විදුලිබල ප්‍රතිසංස්කරණ පනතේ IV පරිච්ඡේදයෙහි දක්වා ඇති "විෂය පථය" සහ "ආයතනික රාමුව" අධ්‍යයනය කිරීම සහ සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. පසුව, එම කාරණය සම්බන්ධයෙන්ම මා විසින් ඉදිරිපත් කරන ලද අංක 22/1194/621/008-I දරන 2022.08.15 දිනැති අමාත්‍ය මණ්ඩල සටහන සලකා බැලීමෙන් අනතුරුව, මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය යැයි සැලකෙන ඕනෑම විශේෂඥයෙකුගේ සහාය ලබා ගැනීමට ඉහත සඳහන් කළ කමිටුවට බලය පැවැරීමටත්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් 2022.08.16 දින අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, කමිටුව පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත විය.

 

1. එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා, ලේකම් - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය (සභාපති)

2. ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා, ආර්ථික විශේෂඥ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්.

3. නිහාල් ජයවර්ධන මහතා, ජනාධිපති නීතිඥ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු රජයේ අධිනීතිඥ.

4. එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා, නීතිඥ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ විදුලිබල හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්.

5. තිලාන් විජේසිංහ මහතා, ව්‍යාපාර ප්‍රාග්ධන වෙළෙඳ පොළ උපදේශක සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති.

6. ආචාර්ය සුසන්ත පෙරේරා මහතා, විදුලිබල විශේෂඥ, ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමික අතිරේක සාමාන්‍යාධිකාරි සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (තාක්ෂණ)

7. සාලිය වික්‍රමසූරිය මහතා, සභාපති, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය

8. හර්ෂ ප්‍රනාන්දු මහතා, නීතිඥ සහ නීති උපදේශක

(iv)  ඒ අනුව ජනතාවගේ වර්තමාන සහ අනාගත අභිලාෂ ආමන්ත්‍රණය කළ හැකි වඩාත් ගතික, ජවසම්පන්න, ඵලදායී සහ කාර්යක්ෂම ආයතන රාමුවක් ගොඩනැඟීමට මෙන්ම රටේ "ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමේ දර්ශකය" වැඩි දියුණු කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ උක්ත කමිටුව දැනට අදාළ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනාවලට ඇහුම්කන් දෙමින් සිදු කළයුතු ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අධ්‍යයනය කරමින් සිටී.

කමිටු වාර්තාව දැනට සකස් කරමින් පවතින අතර, එම වාර්තාව නුදුරේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks