04

E   |     |  

 දිනය: 2012-10-12   පිළිතුර ලබා දී ඇත 

1882/2012: ගිංතොට කොහු නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානය : නැවත ආරම්භ කිරීම

1882/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ගාල්ල දිස්ත්‍රික්කයේ, ගිංතොට, පියදිගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කොහු ආශ්‍රිත නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානය මීට වර්ෂ කිහිපයකට පෙර සිට වසා දමා ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)      එම ආයතනය වසා දැමීමට හේතු කවරේද;

(ii) එම මධ්‍යස්ථානය සතුව පැවති බලවේග යන්ත්‍ර සහ අත්ලණු යන්ත්‍රවලට සිදුවූයේ කුමක්ද;

(iii) ගිංතොට, පියදිගම කොහු ආශ්‍රිත නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන්නේද;

(iv) ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

(v) එසේ නම්, නිෂ්පාදන සහ පුහුණුවීම් කටයුතු ආරම්භ කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-10-12

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා (ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு லக்ஷ்மன் யாப்பா அபேவர்தன - பொருளாதார அபிவிருத்தி பிரதி அமைச்சர்)

(The Hon. Lakshman Yapa Abeywardena - Deputy Minister of Economic Development)

ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)       ඔව්. මෙම මධ්‍යස්ථානය 2002 වර්ෂයේ සිට එහි පාලනය හා කළමනාකරණ කටයුතු සිදු කළ සමුපකාර සමිතියේ දුර්වල පාලනය හේතුවෙන් වසා දමා ඇති අතර දැනට කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම ගොඩනැඟිල්ල අලුත්වැඩියා කර ග්‍රාම නිලධාරි කාර්යාලයක් ස්ථාපිත කර ඇත.

(ආ) (i) ගාල්ල, ගිංතොට, පියදිගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කොහු ආශ්‍රිත නිෂ්පාදන පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබූ පෙර පාසලක් පවත්වා ගෙන ගිය ගොඩනැඟිල්ලකි. 2000 වර්ෂයේදී කඩවත්සතර ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීම පරිදි කොහු ආශ්‍රිත පුහුණු හා සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා එම ගොඩනැඟිල්ල අලුත්වැඩියා කර යන්ත්‍ර සූත්‍ර සැපයීමට ක්‍රමවේදයක් ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලදී.

ඒ අනුව 2000  වර්ෂයේදී කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත මෙම කොහු ආශ්‍රිත නිෂ්පාදන පුහුණු කිරීමේ සහ සේවා සැපයීමේ මධ්‍යස්ථානය ආරම්භ කරන ලද අතර එහි කාර්මිකයන්ගේ සහභාගිත්වයෙන් සමුපකාර සමිතියක්ද ස්ථාපිත කර ලියා පදිංචි කර එම මධ්‍යස්ථානයේ පාලනය සහ කළමනාකරණය එම සමුපකාර සමිතිය වෙත පවරන ලදී.  වසර දෙකක් පමණ මෙම මධ්‍යස්ථානය සමුපකාර සමිතිය විසින් පවත්වා ගෙන යනු ලැබූ අතර 2002 වර්ෂයේදී සමුපකාර සමිතියේ දුර්වල පාලනය හේතුවෙන් මධ්‍යස්ථානයේ කටයුතු ඇන හිට ඇත.

 (ii)      දක්ෂිණ සංවර්ධන අධිකාරිය විසින්  මෙම සමුපකාර සමිතිය හරහා කොහු කාර්මිකයන් වෙත එවකට වටිනාකම වන රුපියල් 336,000ක වටිනාකමක් ඇති ලණු ඇඹරීමේ යන්ත්‍ර 112ක් ලබා දී ඇති අතර, ඇතැම් ඒවා  දැනටමත් භාවිත කරනු ලබයි. රුපියල් 192,000ක වටිනාකමක් ඇති ලණු ඇඹරීමේ විදුලි යන්ත්‍ර 12ක්  මෙම මධ්‍යස්ථානයට සපයනු ලැබූ අතර, එය අක්‍රිය වීම නිසා මෙම යන්ත්‍ර ආපසු ලබා ගෙන ඇති අතර, තවත් කිහිපයක් මෙවැනි සමුපකාර සමිති මගින් පාලනය කරන පුහුණු හා සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇත. රුපියල් 25,000ක වටිනාකමක් ඇති ලණු පට්ටලයක් තේ දළු ගෝනි සැකසීම සඳහා ලබා දී  තිබූ අතර එයද ඉවත් කර ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා මුදල් කර ඇත.  රුපියල් 49,000ක් වටිනා කොහු නෙලන යන්ත්‍රය දක්ෂිණ සංවර්ධන අධිකාරිය විසින් ස්ථාපිත කරන ලද ගොවියාපාන කොහු කාර්මිකයන්ගේ සමුපකාර සමිතිය වෙත ලබා දී ඔවුන් එය පරිහරණය කරනු ලබයි.

(iii) දැනට මෙම මධ්‍යස්ථානය පවත්වා ගෙන යනු ලැබූ ගොඩනැගිල්ල අලුත්වැඩියා කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  විසින් ග්‍රාම ලේකම් කාර්යාලයක් ස්ථාපිත කර ඇත.

(iv) අදාළ  නොවේ.

(v) අදාළ  නොවේ.

(ඇ) අදාළ  නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-01-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks