01

E   |     |  

 දිනය: 2022-10-05   පිළිතුර ලබා දී ඇත 

2659/2022: අනවසරයෙන් අත් කරගත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්: බදු දීම

----

අසන ලද දිනය

2022-10-05

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අනවසරයෙන් අත්පත් කරගෙන ඇති, දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් ඔවුන් විසින් කරනු ලබන ඉල්ලීම් සලකා බලා නීත්‍යනුකූල බදු පදනම මත ලබා දීමේ හැකියාව පිළිබඳ ප්‍ර.ඉ.(මා/ක), ප්‍ර.ඉ.(සං/වී) උපදෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශය මත දුම්රිය මාර්ගයට අගතියක් නොවන පරිදි දෙපාර්තමේන්තු රෙගුලාසිවලට යටත්ව අනවසර පදිංචිකරුවන් වෙත ලබා දීමට කටයුතු කරනු ලැබේ. බදු අලුත් කිරීම පිළිබඳ සලකා බලමින් පවතී.

(ii) අනු අංක (i)හි සඳහන් ඉඩම් නියමානුකූල කිරීමේදී බදු මුදල් අය කර ගැනීමට කටයුතු කරනු ලැබේ.

මේ සම්බන්ධව මගේ පෞද්ගලික උත්තරය මේකයි. ඒ සඳහා නිසි වැඩ පිළිවෙළක් ඇත්තටම තිබිලා නැහැ. මම ඒ පිළිබඳව  කනගාටු වෙනවා. අපි දැන් ඒ සඳහා වැඩ පිළිවෙළක් හදාගෙන යනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් උපයා තිබෙන වාර්ෂික ආදායම බැලුවාම ඒක පෙනෙනවා, ගරු කථානායකතුමනි.

(iii) ඉඩම් බදු දීම මඟින් වාර්ෂිකව ලබා ඇති ආදායම පහත පරිදි වේ.

වර්ෂය    ආදායම

රුපියල් මිලියන

2018 141.03

2019 187.53

2020 130.96

2021 104.98

2022 මැයි දක්වා 84.45

 

පො‍ළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරටම ගිහිල්ලා, උදේ ඉඳලා හවස් වනතුරු බදුකරුවන් කැඳවලා‍, ඔවුන්ට ගෙවීමට තිබෙන බදු ගෙවන්න කියලා අපි කිව්වා. ඒ අනුව දවසකට මම රුපියල් එක්කෝටි හයලක්ෂයක් බදු මුදල් වශයෙන් එකතු කළා. ඒ බව මම කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තිබෙනවා.

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ඉඳලා දුම්රිය ඉඩම් සියයට සියයක් රජය සතු ආරක්ෂිත කලාප හැටියට වෙන් කරලා තිබෙනවා. බදු ගිවිසුමක් නැතිව දුම්රිය රක්ෂිතයට අයත් ප්‍ර‍දේශයක් අනවසරයෙන් අල්ලා ගෙන සිටීම හෝ එහි පදිංචි වෙලා සිටීම බරපතළ වැරැද්දක්. ඔබතුමා දන්නවා, එවකට පැවතුණු නීතිය අනුව  දුම්රිය මාර්ගයේ ගමන් කරන අයවලුන්ට පවා දඬුවම් කරන්න නීතියක් තිබුණු බව, ගරු කථානායකතුමනි. කොළඹ කොටුවේ සිට පානදුර දක්වා තිබෙන දුම්රිය මාර්ගය දෙස බැලුවොත් අද අපට පෙනෙනවා, විශාල ව්‍යාපාර කටයුතුවලට අනවසරයෙන්, බලහත්කාරයෙන්, විවිධ ක්‍රමවලින් වාගේම දේශපාලන බලපෑම්වලින් ඉඩම් අල්ලා ගෙන තිබෙන බව. මේ තත්ත්වය රටට හානිකරයි; ජාතියේ පැවැත්මට හානිකරයි; දුම්රියේ සංවර්ධනයටත් හානිකරයි. මේවායින් රජයට විශාල ආදායමක් උපදවා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් නිසි ලෙස කළමනාකරණය කළොත්, බදු ගෙවන ජනතාවට බදු බර වැඩි කරන්නේ නැතිව ආදායම් උපදවා ගන්න පුළුවන්. ඒ නිසා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා, දුම්රිය සතු වත්කම් සහ දේපළ කළමනාකරණය කිරීම සඳහා - asset management සඳහා - විතරක් සියයට සියයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්ත‍මේන්තුව සතු -රජය සතු- වෙනම ඒකකයක්, නැත්නම් සීමාසහිත සමාගමක් පිහිටුවන්න කියලා මේ ආදායම් ටික උපදවා ගන්න.

(iv)  දෙපාර්තමේන්තුව සතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට කටයුතු කරන බව සැලවූ වහාම ප්‍රා.ඉ. (මා/ක) උපදෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැ‍බේ. එසේ කිරීමට නොහැකි වූ විට දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරින්ට එම කටයුත්ත භාර දෙන අතර, එමඟින්ද අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට නොහැකි වූ විට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) උපදෙපාර්තමේන්තුව හා නීති අංශය මඟින් නීතිමය කටයුතු කර රක්ෂිත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනු ලැබේ.

ඒක තමයි දැනට තිබෙන තත්ත්වය, ගරු මන්ත්‍රීතුමනි. විශාල වශයෙන් අනවසර ඉඩම් අල්ලා ගැනීම් කරනකොට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඔවුන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා.

(ආ)  අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-10-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks