01

E   |     |  

 දිනය: 2022-10-07   පිළිතුර ලබා දී ඇත 

2061/2022: නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වන අදියර: විස්තර

----

අසන ලද දිනය

2022-10-07

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      නැත. ඒ සඳහා පාදක වූ කරුණු මෙම සභාවේ අවධානය සඳහා සැකෙවින් ඉදිරිපත් කරනු කැමැත්තෙමි.

                          නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ මුළු ධාරිතාව මෙගාවොට් 900ක් වන අතර එය මෙගාවොට් 300ක් වන බලාගාර ඒකක 03කින් සමන්විත වේ. එහි මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුතු බලාගාර ඒකකයක්, හතරවන අදියර ලෙස ඉදිකිරීමට 2019 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

                          නමුත්, 2030 වන විට රටේ මුළු විදුලිබල අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය ප්‍රභවයන් උපයෝගී කර ගනිමින් නිපදවීම, අනාගතයේ නව ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීම සහ 2050 වන විට කාබන් උදාසීනතාව ප්‍රත්‍යක්ෂ කර ගැනීම අරමුණු කර ගත් රජයේ ඉලක්කගත ප්‍රතිපත්තිය සැලකිල්ලට ගනිමින් "අලුතින් ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමේ" (No New Coal Power Compact) ජාත්‍යන්තර එකඟතාවට අත්සන් කිරීම සඳහා එවකට සිටි ගරු විදුලිබල අමාත්‍යතුමා විසින් 2021.10.13 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. එම සංදේශය 2021.10.25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

එකඟතාවට අනුව පරිසර දූෂණය අවම කිරීම සහ/හෝ එයින් පරිසරයට ඇති කරන බලපෑම වැළැක්වීමට ක්‍රමවේදයක් නොමැති ගල් අඟුරු ව්‍යාපෘති (Unabated Coal Power Generation Projects) සඳහා බලපත්‍ර නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමටත්, එවැනි ගල් අඟුරු බලාගාර මඟින් විදුලිය උත්පාදනය උදෙසා නිපදවන අලුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම එම වසර අවසාන වන විට නැවැත්වීමට කටයුතු කළ යුතු බවට තීරණය විය.

තවද, ගරු පරිසර අමාත්‍යතුමා විසින් එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය යටතේ අත්සන් කර ඇති (United Nations Framework Conservation on Climate Change) පැරිස් ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද 2021.09.10 දිනැති අමාත්‍ය මණ්ඩල සටහන මඟින් පහත සඳහන් ප්‍රධාන ප්‍රතිපත්ති හා ඉලක්ක සඳහා 2021.09.13 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

- 2030 වන විට පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කරනු ලබන විදුලිබලය සියයට 70ක් දක්වා ඉහළ නැංවීම.

- අනාගතයේදී නව ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට කටයුතු නොකිරීම.

- 2050 වන විට බලශක්ති උත්පාදනයේදී සිදුවන ශුද්ධ කාබන් විමෝචනය ශූන්‍ය කිරීම.

ඉහත අමාත්‍ය මණ්ඩල නියමයන්ට අනුව, "විදුලිබල කර්මාන්තය සම්බන්ධ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ" මැයෙන් එවකට සිටි ගරු විදුලිබල අමාත්‍යතුමා විසින් 2021.10.12 දින නැවතත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2021.11.01 දින හිමි වී ඇත. අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන්හි 9 ජේදය අනුව "නව ගල් අඟුරු බලාගාර ඉදිකිරීම" නවතා දැමීමට තීරණය කර ඇත.

උක්ත අමාත්‍ය මණ්ඩල තීරණ අනුව සහ තවදුරටත් ගල් අඟුරු බලාගාර ඉදිනොකිරීමට රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණ මත විදුලිබල මණ්ඩලය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ හතරවන අදියර ක්‍රියාත්මක කිරීමේ කටයුතු නවතා දමන ලදී.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks