01

E   |     |  

 දිනය: 2022-11-09   පිළිතුර ලබා දී ඇත 

0299/2022: මිනිපේ, උඩුදුම්බර සහ මැදදුම්බර ප්‍රා.ලේ. කොට්ඨාස: වන සතුන්ගේ තර්ජන

----

අසන ලද දිනය

2022-11-09

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i), (ii)  ඔව්.

                        සහකාර අධ්‍යක්ෂ මධ්‍යම කලාපය යටතේ පාලනය වන දාගවිල්ල සහ හසලක කාර්යාලවලට අයත් වන මෙම රක්ෂිත ප්‍රදේශය වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභය භූමියේ කඳුකර ප්‍රදේශයක් වන අතර, එම ප්‍රදේශයේ වන අලින්ට ඉතිරිව ඇති කැලෑ ප්‍රදේශය ඉතා අඩුය. මෙහි කඳු මුඳුන් බහුලව පවතින බැවින්, වියළි කාලය පැමිණෙත්ම එම කඳු මුඳුන් ආශ්‍රිතව ජීවත් වන වනඅලි සඳහා ආහාර හා ජලය හිඟ වීම හේතුවෙන් එම වනඅලින් වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ අභය භූමිය ආශ්‍රිතව පිහිටා ඇති පිටිගොඩ, දේවහන්දිය හා දඹගහපිටිය ගම්මාන වෙන් කරමින් ඉදිකර ඇති විදුලි වැට කඩා බිඳ දමමින් ජල ප්‍රභව වෙත ළඟාවීමට පුරුදු වී ඇත. එහිදී කුඹුරු හා හේන් වගාවන් පසුකර යන විට වන අලින්ගෙන් මෙසේ වගා හානි සිදුවිය හැකිය. එම හානි අවම කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මඟින් උඩුදුම්බර, මිනිපේ හා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි විදුලි වැටවල් 07ක් මේ වන විට ඉදිකර ඇත. එහි සම්පූර්ණ දුර කිලෝමීටර 120ක් වේ. මෙකී විදුලි වැටවල් සඳහා සිවිල් ආරක්ෂක භටයින් පනස් දෙදෙනෙකු යොදවා ඇත. මීට අමතරව, ජාතික විදුලි වැට ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ එකී අභය භූමිය ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදිකිරීමට යෝජනා කර ඇත. එයද ලබන වර්ෂයේ ඉදිකර අවසන් කිරීමට අපේක්ෂා කරනු ලැබේ. තවද වනඅලින්ගෙන් වගාවන් ආරක්ෂා කිරීම පිණිස 2022 වර්ෂයේ මධ්‍යම කලාපය සඳහා අලි වෙඩි 86,655ක් පමණ ප්‍රමාණයක් ගොවි ජනතාව වෙත ද ලබා දී ඇත.

වෙනත් වන සතුන් විසින් සිදු කරන වගා හානි සඳහා වන්දි නොගෙවන නිසා ඒ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී නොමැත. එසේම වනඅලින්ගෙන් සිදුවන හානි අවම කිරීම සඳහා දැනට ඉහත ගම්මාන ආවරණය කර විදුලි වැටවල් සකස් කර ඇති අතර, ගොවීන්ගේ වගා ආරක්ෂා කිරීම පිණිස ප්‍රාදේශීය ලේකම්වරු මඟින් අලි වෙඩි ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක  කරමින් පවතී.

 

(ආ) (i) a) වනඅලි වගා බිම්වලට වැදීම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිකිරීම.

b) වනඅලි  වගා හානි සඳහා පෙලඹෙන අවස්ථාවලදී එම ස්ථානවලින් එම සතුන් පලවා හැරීමට කටයුතු කිරීම.

c) වනජීවී නිලධාරින් මඟින් වනඅලි පළවා හැරීම කළ නොහැකි අවස්ථාවලදී ගොවීන්ට එම කටයුතු සිදුකර ගත හැකි වන පරිදි භාවිතය සඳහා අලි වෙඩි ලබා දීම.

d) අවස්ථාවෝචිත පරිදි මිනිස් ජීවිතවලට, දේපළවලට හා කෘෂි බෝගවලට හානි කරමින් හැසිරෙන වනඅලි අල්ලා පරිස්ථාපනය  කිරීම සඳහා කටයුතු කිරීම.

e) වනඅලින්ගෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම.

(ii) වනඅලින්ගෙන් සිදුවන හානිවලින් පීඩාවට පත්වන පුද්ගලයින් සඳහා විධිමත් වන්දි ලබා දීමේ වැඩ පිළිවෙළක් මේ වනවිට සෑම අලි මිනිස් ගැටුම පවතින දිස්ත්‍රික්කයක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අනුව, වනඅලි ඇතුළු ආරක්ෂිත වනසතුන් වන දිවියා, කුළු හරකා සහ කිඹුලා යන සතුන් විසින් කරනු ලබන මිනිස් මරණ, ශාරීරික හානි සහ දේපළ හානි සඳහා ඉදිරිපත් කරනු ලබන වන්දි අයදුම්පත් අනුව, දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුක්ත තිදෙනෙකුගෙන් යුත් වන්දි කමිටුවක් මඟින් නිර්දේශ කරනු ලබන පරිදි වන්දි ගෙවීමට දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මුදල් ප්‍රතිපාදන යැවීමෙන් අනතුරුව කටයුතු සිදු කරනු ලැබේ.  

 (iii) මිනිස් මරණ සඳහා  රු. 1,000,000.00

පූර්ණ ශාරීරික

ආබාධයක් සඳහා රු.1,000,000.00  උපරිම

අර්ධ ශාරීරික හානි

සඳහා රු.   150,000.00  උපරිම

දේපළ   හානි   සඳහා  රු.   200,000.00  උපරිම

 

වශයෙන් වන්දි ගෙවනු ලැබේ. දිස්ත්‍රික් වන්දි කමිටුව මඟින් අනුමත කරනු ලබන වන්දි අයදුම්පත් සඳහා ගෙවීමට අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් විසින් එක් එක්  දිස්ත්‍රික් ලේකම්වරු වෙත ලබාදෙනු ලැබේ.

(iv) වනසතුන් විසින් දැඩි ලෙස හානි කරන පොල්, කෙසෙල්, මුං, කව්පි, රටකජු, කුරක්කන්, තල වැනි වාණිජ මට්ටමේ මහා පරිමාණයේ වගා          කරන බෝග සහ ගෘහ ආශ්‍රිතව පෞද්ගලික  පරිභෝජනය සඳහා වගා කරන එළවලු සහ පලතුරු බෝග සඳහා රක්ෂණාවරණයක් නොලැබීම සම්බන්ධයෙන් මහජනතාව නිරතුරුව මැසිවිලි නඟති. මීට අමතරව, ගබඩා කර ඇති අස්වැන්න සඳහා ද වන සතුන්ගෙන් සිදුවන හානි කිරීම් වාර්තා වේ.

(v) වනසතුන්ගෙන් හා වනඅලින්ගෙන් වගාවන්ට සිදුවන හානි ප්‍රතිපූරණය කිරීම සඳහා වන්දි ගෙවීමක් හෝ වෙනත් ක්‍රමවේදයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මූලිකත්වය ගෙන ක්‍රියාවේ යෙදවීමක් සිදු කරනු නොලැබේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-11-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks