01

E   |     |  

 දිනය: 2022-11-09   පිළිතුර ලබා දී ඇත 

0032/2022: මූල්‍ය අර්බුදයෙන් පීඩාවට පත් පෞද්ගලික මූල්‍ය ආයතන: තැන්පතුවල ආරක්ෂාව

----

අසන ලද දිනය

2022-11-09

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)       බලපත්‍රලාභී බැංකු (බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු) සහ බලපත්‍රලාභී මුදල් සමාගම්, විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්, ප්‍රාථමික අළෙවිකරුවන් සහ බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් යන බැංකු නොවන මූල්‍ය ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීම සහ නියාමනය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබයි.

                        වත්මන් සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බැංකු අංශය විදේශ විනිමය හා ද්‍රවශීලතා ඌනතා වැනි විවිධ අභියෝගවලට මුහුණ දී සිටී. මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සුදුසු පරිදි පියවර ගනිමින් සිටී.

බැංකු නොවන මූල්‍ය අංශයේ සමස්ත කාර්ය සාධනය මේ වන විට යහපත් තත්ත්වයක පවතින අතර, ආයතන කිහිපයක් හැරුණුකොට සමස්ත බැංකු නොවන මූල්‍ය ආයතන අංශය, ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා අවම නියාමන අවශ්‍යතාවලට ඉහළින් යහපත් මට්ටමක පවතී. ඉහත සඳහන් වූ ඇතැම් ආයතන නියාමන අවශ්‍යතාවන්ට අනුකූල කිරීම සඳහා දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය පියවර ගනිමින් පවතී.

      (ii) බැංකුවලට ශක්තිමත් සහ ඔරොත්තු දෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට හැකි වන පරිදි වසර ගණනාවක් පුරා ප්‍රාග්ධනය ගොඩනඟා ඇති අතර, අභියෝගාත්මක කාලවලදී බැංකුවල පාඩු දරා ගැනීමට මෙය  උපකාරී වී ඇත. බලපත්‍රලාභී බැංකු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා අවශ්‍යතාවලට අනුකූල වන බව සඳහන් කළ යුතුය. කෙසේ වෙතත්, වර්තමාන අභියෝගාත්මක සාර්ව ආර්ථිකතත්ත්වයන් හේතුවෙන් බැංකු අංශයේ ප්‍රාග්ධන, ද්‍රවශීලතා මට්ටම් සහ වත්කම්වල ගුණාත්මකභාවයේ යම් පිරිහීමක් සිදු වී ඇත. ඔරොත්තු දෙන සහ ස්ථායී බැංකු අංශයක් තහවුරු කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අඛණ්ඩ නිරීක්ෂණ සහ ව්‍යවස්ථාපිත පරීක්ෂණ මඟින් බලපත්‍රලාභී බැංකුවල කාර්ය සාධනය සමීපව නිරීක්ෂණය කරනු ලැබේ. බැංකුවල ස්ථායීතාව තහවුරු කිරීම සහ එමඟින් තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු සඳහා විවිධ නියාමන ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත.

      (iii) බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ කාර්ය සාධනය වර්ධනය වී ස්ථාවරව පවතී. කෙසේ වෙතත්, මෙරට ආර්ථික තත්ත්වය තවදුරටත් පසුබෑමට ලක් වුවහොත් එම තත්ත්වය, බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ ස්ථාවරත්වයට බලපෑමක් ඇති කළ හැකිය.

(ආ) (i) පෞද්ගලික අංශයේ මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ගේ මුදල් තැන්පතුවල සුරක්ෂිතභාවයට හානිවන ආකාරයේ කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් රජය විසින් නොගනී.

      (ii) මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය අංශය විසින් මෙම ආයතන සම්බන්ධව නිරන්තරව අධීක්ෂණය කරනු ලබන අතර, අවශ්‍ය ආරක්ෂණ මැදිහත්වීම් එමඟින් සිදු කරනු ඇත.

      (iii) බලපත්‍රලාභී බැංකුවක්/බලපත්‍රලාභී මුදල් සමාගමක් ඈවර කරන අවස්ථාවකදී පිළිවෙළින් 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අදාළ වේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය මඟින්, එම අරමුදලේ බලපත්‍රලාභී සාමාජික ආයතනයක බලපත්‍රය අවලංගු කිරීමේදී රුපියල් 1,100,000ක                   උපරිම වන්දි මුදලක් එවැනි ආයතනයක එක තැන්පතුකරුවෙක් සඳහා ලබා දෙනු ඇත. තවද, ඈවර කරන ලද බලපත්‍රලාභී බැංකුවල/බලපත්‍රලාභී මුදල් සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම අදාළ රෙගුලාසිවල දක්වා ඇති හිමිකම් ප්‍රමුඛතාව පිළිබඳ විධිවිධානවලට අනුකූලව සිදු කරනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-01-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks