01

E   |     |  

 දිනය: 2022-06-08   පිළිතුර ලබා දී ඇත 

2578/2022: අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: වත්මන් තත්ත්වය

----

අසන ලද දිනය

2022-06-08

අසන ලද්දේ

ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අපොස (සා/පෙළ) දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කටයුතු සැලසුම් කර ඇත. ඒ සඳහා පහත දැක්වෙන ක්‍රියාකාරකම් සිදුකර ඇත. It is only a planning; සැලසුම් විතරයි.

                        ජාතික විෂයමාලා රාමුව සකස් කිරීම  

                        මේ මඟින් කියන්නේ Framework එක සකස් කිරීම සම්බන්ධවයි.

2020 දෙසැම්බර් මාසයේදී පළමු කෙටුම්පත සකස් කර අවසන් වූ අතර, 2022 මාර්තු මාසයේදී ජාතික අධ්‍යාපන ආයතනයේ ආයතන සභාවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලදී.

2021 වර්ෂය මුළුල්ලේ 1, 6, 10 ශ්‍රේණිවලට අදාළ මොඩියුල - drafts -  සකස්  කරන ලද අතර, 2022 වර්ෂයේදී එම මොඩියුල සම්බන්ධයෙන් පළාත් මට්ටමින් පූර්ව නියාමන කටයුතු සිදු කිරීමට කටයුතු කරගෙන යනවා.

ඉදිරි කාලය තුළදී අපි pilot projects කරනවා. ඊට පස්සේ තමයි අවසාන එකට එන්නේ. ඊට පෙරාතුව, ගරු රෝහිණී කුමාරි විජේරත්න මැතිනිය කිව්වා වාගේ, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර හෝ ආංශික අධීක්ෂණ කාරක සභාව පත් කළාම මේ සියලු දේවල් පුළුල් කතිකාවකට භාජන කරලා තමයි අවසාන කෙටුම්පත සකස් කරන්නේ. මොකද, අපි ළඟ යමක් නැතිව අපට අනික් අයත් එක්ක සාකච්ඡා කරන්න බැහැ නේ. ඒ නිසා ඒ කොටස දැනට කරලා තිබෙනවා.

අපොස (උ/පෙළ) සඳහා වන ප්‍රතිසංස්කරණ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් කරන්නේ. ඒ පිළිබඳ මූලික සාකච්ඡා වට 02ක් පවත්වන ලද අතර, අවසන් තීරණවලට එළඹීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඇතුළු ආයතන සමඟ තවදුරටත් සාකච්ඡා කළ යුතුව තිබෙනවා. 2020/21 වර්ෂවල පැවැති කොවිඩ් - 19 වසංගත තත්ත්වය තුළ වැඩි කාලයක් පාසල් වසා තැබීම හා නිරෝධායන ඇඳිරි නීතිය නිසා රාජකාරි කටයුතු සීමා වූ බැවින් ඉහත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවත සමාලෝචනය කිරීමට සැලසුම් කර තිබෙනවා.  අපට ඒවා reschedule කර ගන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඒ මට්ටමට තවම ගිහිල්ලා නැහැ. ඒක ඒ අංශයට භාර දීලා තිබෙන්නේ.

(ii) එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු 2023 වසරේදී ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද, රටේ දැනට පවතින තත්ත්වය හේතුවෙන් ගුරු පුහුණු කටයුතු, මුද්‍රණ කටයුතු ඇතුළු මූලික කටයුතු සිදු කිරීම අපහසු බැවින් ක්‍රියාත්මක කිරීමේ වසර 2024 දක්වා කල් දැමීමට යෝජිතය. ඒ අනුව ක්‍රියාත්මක කිරීමේ කාල රාමුව පහත පරිදි වේ.

 

ශ්‍රේණිය

නියාමනය (වර්ෂය)

ක්‍රියාත්මක කිරීම (වර්ෂය)

සා/පෙළ විභාගය

උ/පෙළ විභාගය

1, 6, 10

2023

2024

2025 අගෝස්තු

2027 දෙසැම්බර්

2, 7, 11

2024

2025

 

 

3, 8, 12

2025

2026

 

 

4, 9, 13

2026

2027

 

 

5

2027

2028

 

 

(කැබිනට් මණ්ඩල තීරණය අනුව)

 

(iii)  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව දැනට සකස් කර ඇත. It is only a policy framework. ජාතික අධ්‍යාපන කොමිසම මඟින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති කෙටුම්පත දැනට සකස් කරනු ලබන අතර, එය අවසන් වීමෙන් පසු අධ්‍යාපන උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර අදාළ පාර්ශ්ව දැනුවත් කර, උපදේශක කාරක සභාවේ අනුමැතියෙන් පස්සේ එය ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට කටයුතු කරනු ලැබේ.

(ආ) දැනට අමාත්‍යාංශය මඟින් පාලනය කරනු ලබන ජාතික පාසල් සංංඛ්‍යාව 374කි. යෝජිත ජාතික පාසල් ව්‍යාපෘතියේ කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125ක් සඳහා ප්‍රමුඛතාව ලබාදී පළාත් අධ්‍යාපන කාර්යාලවල යෝජිත ඒකකයක් මඟින් පාලනය, අධීක්ෂණය හා සැලසුම් කිරීම් කිරීම සිදු කරනු ලැබේ. එය අමාත්‍යාංශය හා පළාත් සභා යන අංශ දෙක මඟින්ම ඒකාබද්ධව සිදු කිරීමට යෝජිතය.

ගරු මන්ත්‍රීතුමනි, අපි කවුරුත් දන්නවා, ජාතික පාසල් 374ක් අමාත්‍යාංශයෙන් පාලනය වුණාට, තව ඒකට එකතුවෙන එකතුවෙන ඒවාත් එක්ක අමාත්‍යාංශයකින් ඒ කටයුතු සියල්ල කරන්න පුළුවන්කමක් නැහැ, ඒක ප්‍රායෝගික නැහැ කියන කාරණය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා, සෑම පළාතකම තිබෙන පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් මේ කටයුතු කරන්න. එහිදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ද්විත්ව කාර්යභාරයක් තිබෙනවා. ඒ කියන්නේ, අමාත්‍යාංශයේ කටයුතුත්, පළාතේ කටයුතුත්. එතුමාට වගකීම් පවරලා, ඊට යටින් අපි තව management structure එකක් හදනවා. ඒ විධියට තමයි යෝජනා කරලා තිබෙන්නේ. ඒ කියන්නේ, කලාප කාර්යාලයක ඉන්නවා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ - පාලන, සැලසුම් සහ සංවර්ධන විධියට. ඒ විධියේ structure එකක් හදලා අපි එතැනට බාර දෙනවා, ඒ පළාතේ ජාතික පාසල්  පාලනය, එ්වායේ සැලසුම් සහ සංවර්ධනය සම්බන්ධ කටයුතු. කලින් ඒවාත් එක්කම බාර දෙනවා. එතකොට අමාත්‍යාංශයට එන්න අවශ්‍ය නැහැ. Appeal එකකට විතරයි අමාත්‍යාංශයට එන්න ඕනෑ. එතකොට ළමුන් ඇතුළත් කිරීම, ගුරු මාරුවීම් පවා අපට පළාත් මට්ටමින් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒකට නේ අපි දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය හැදුවේ. ඒ නිසා අපි ඒක ක්‍රියාත්මක කරනවා.

 

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-06-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks