01

E   |     |  

 දිනය: 2022-02-24   පිළිතුර ලබා දී ඇත 

1469/2022: සුළු හා මහා වාරිමාර්ග යෝජනා ක්‍රම: අනුරාධපුර දිස්ත්‍රික්කය

----

අසන ලද දිනය

2022-02-24

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනුරාධපුර කලාපය යටතේ සුළු වාරිමාර්ග කර්මාන්ත නඩත්තු නොවන අතර, මහා වාරිමාර්ග ව්‍යාපාර 13ක් සහ මධ්‍ය වාරිමාර්ග ව්‍යාපාර 87ක් ඇත.

 

              (ii)      අභය වැව, හුරුළු වැව, මහකනදරාව, මානන්කට්ටිය, මහවිලච්චිය, නාච්චාදූව, නුවර වැව, පදවිය, රාජාංගණය, තුරුවිල, තිසා වැව, වාහල්කඩ, යාන්ඔය වම් ඉවුර හා තුරුවිල හා පෝෂිත ඇළ ව්‍යාපාරය.

අනු අංකය

වාරිමාර්ග ව්‍යාපාරය

ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව

01

අභය වැව

  648

02

හුරුළු වැව

7500

03

මහකනදරාව

5237

04

මානන්කට්ටිය

  450

05

මහවිලච්චිය

  915

06

නාච්චාදූව

2715

07

නුවර වැව

1122

08

පදවිය

5850

09

රාජාංගණය

4550

10

තිසා වැව

  635

11

වාහල්කඩ

1890

12

යාන්ඔය

4266

13

තුරුවිල හා පෝෂිත ඇළ ව්‍යාපාරය

  857

(iii)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ආ)  වාරි සෞභාග්‍යා ග්‍රාමීය වැව් හා අමුණු පුනරුත්ථාපනය කිරී‍මේ ජාතික වැඩසටහන

 

ඉහත වැඩසටහන යටතේ දිස්ත්‍රික්කය තුළ සමස්ත සුළු වාරිමාර්ග පද්ධතිය නවීකරණය කිරීම සඳහ‍ා (පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටද අයත් සුළු වාරිමාර්ග වැව් ඇතුළුව) අප දෙපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තු සකසා වැඩ ආරම්භ කරන ලදී. එහි වර්තමාන ප්‍රගතිය පහත පරිදි වේ. මේ වනවිට 2021 වර්ෂය සඳහා වියදම රුපියල් මිලියන 267ක් වන අතර බැරකම් සමඟ මුළු වියදම රුපියල් මිලියන 417කි.

වාරි සෞභාග්‍යා ග්‍රාමීය වැව් හා අමුණු පුනරුත්ථාපනය කිරීමේ ජාතික වැඩසටහන අනුරාධපුර කලාපය

 

අනු අංකය

කොට්ඨාසය

2021 වර්ෂයෙහි ප්‍රතිසංස්කරණය කළ වැව්

2021 වර්ෂයෙහි වැඩ අරඹා ප්‍රතිසංස්කරණය කර 2022 වර්ෂයෙහි අවසන් කිරීමට නියමිත වැව්

2022 වර්ෂයෙහි ප්‍රතිසංස්කරණය කිරීමට යෝජිත වැව්

1

අනුරාධපුර

10

12

  7

2

හුරුළු වැව

12

  3

  9

3

රාජාංගණය

  1

  3

  7

4

පදවිය

  2

  6

  8

5

නාච්චාදූව

  1

  1

  4

එකතුව

26

25

35

 

2022 වර්ෂය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මධ්‍ය වාරිමාර්ග ව්‍යාපාර කිහිපයක්ද උක්ත වැඩසටහනට ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතර ඒ සම්බන්ධ තොරතුරුද ඉහත වගුවේ අන්තර්ගත වේ.

මීට අමතරව විශේෂ ව්‍යාපෘති ලෙස,

  • පදවිය හා වාහල්කඩ ව්‍යාපාර
    ජනපති ගම සමඟ පිළිසඳරක් - කැබිතිගොල්ලෑව වැඩසටහන යටතේ පදවිය ව්‍යාපාරයේ ජයන්ති වැවෙන් ඉහළ කොටසට අයත් වාරි ඉඩම් අක්කර 8,700ක ප්‍රමාණයකට සහ වාහල්කඩ වාරි ව්‍යාපාරයේ අක්කර 2,000ක වාරි ඉඩම්වලට සරිලන වාරි පද්ධතියේ අත්‍යවශ්‍ය පුනරුත්ථාපන කටයුතු සඳහා රුපියල් මිලියන 630ක ව්‍යාපෘතියක් සැලසුම් කර 2021 වර්ෂයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 72ක වියදමක් දරා ඇත. මෙම වර්ෂය සඳහා රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන් වී ඇත. ඉහත ව්‍යාපාර දෙකම විශාල කාලයක් පුරාවටම අවම නඩත්තු කටයුතු තත්ත්වයක් යටතේ පවත්වාගෙන ගිය අතර මෙම ව්‍යාපෘතිය සාක්ෂාත් කර ගැනීම තුළින් සමස්ත ව්‍යාපාරයම ප්‍රතිලාභ ලබා ගනු ඇත.

 

  • පදවිය ව්‍යාපාරය

පදවිය ව්‍යාපාරයේ ජයන්ති වැවෙන් පහළ අක්කර 5,300ක ප්‍රමාණයකට වූ වාරි පද්ධතිය පසුගිය යුද ගැටුම් සමයේදී අවධානය යොමු නොවූ හුදකලා වූ වාරි පද්ධතියකි. එම පද්ධතිය පුනරුත්ථාපනය කර ගැනීමට රුපියල් මිලියන 1,300ක ප්‍රමාණයක් යාන් ඔය ව්‍යාපාරය යටතේ වෙන් කර ඇත. ඒ යටතේ වාරිමාර්ග පද්ධතිය නවීකරණය හා කෘෂිකර්ම පද්ධතිය නවීකරණය කිරීමේ බලාපොරොත්තුවෙන් මිනුම් කටයුතු අවසන් කර ඇස්තමේන්තු පිළියෙල කරමින් ඇති අතර 2022 වර්ෂයේ මාර්තු මස සිට වැඩ ආරම්භ කිරීමට බලාපො‍රොත්තු වේ.‍‍

  • මහකනදරාව ව්‍යාපාරය

ජාතික ජල සම්පාදන මණ්ඩලය හා ඒකාබද්ධව ක්‍රියාත්මක වන ජල සම්පාදන යෝජනා පවතින මහකනදරාව හා රාජාංගනය යන ව්‍යාපාර තුළ විශේෂයෙන් ජල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මූලික කරගෙන ඇළ මාර්ග පද්ධති නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. ඒ යටතේ මහකනදරාව ව්‍යාපාරයේ ඇළ පද්ධති සඳහා රුපියල් මිලියන 380ක පමණ වියදම් ඇස්තමේන්තු කර 2021 වසරේ වැඩ ආරම්භ කර රුපියල් මිලියන 106ක පමණ වියදම් මේ වන විට දරා තිබේ.

ජල සම්පත් මණ්ඩලයේ ද ප්‍රතිපාදන ඇතිව ඒරු වැව - මහකනදරාව පෝෂිත ඇළ (මෙය විශාල කාලයක් මුළුල්ලේ අතහැර දමා තිබුණකි.) නැවත බාධක ඉවත් කර සක්‍රිය මට්ටමට ගෙන ඒමට හැකියාව ලැබුණු අතර, ඉන් මහකනදරාව වාරිමාර්ග ව්‍යාපාරයට ජල පාලන කටයුතුවලදී විශාල පිටුබලයක් ලැබෙන බව වැඩිදුරටත් කාරුණිකව දන්වා සිටිමි.

  • රාජාංගනය ව්‍යාපාරය

රාජාංගනය ව්‍යාපාරය කේන්ද්‍ර කොටගෙන එහි ප්‍රධාන ඇළ මාර්ගයේ පද්ධති ධාරිතාව වැඩි කිරීම අරභයා අංගමුව aqueduct structure නිර්මිතය ඉදි කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මෙම වසරේ වැඩ ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. එහි ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 220කි.

රාජාංගනය වාරිමාර්ග ව්‍යාපාරය පිහිටුවන ලද මුල් අවධියේදී ස්ථාපනය කරන ලද උස්සාන වාරිමාර්ග පද්ධති මේ වන විට දැඩි අබලන් තත්ත්වයට පත්ව ඇති අතර, ඒවා නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 3,120ක මූලික ඇස්තමේන්තුවක් පිළියෙල කර ඇති අතර, "ජනපති ගම සමඟ පිළිසඳරක් - ගිරිබාව" යන වැඩසටහන මඟින් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා යොමු කර ඇත. මෙම කාර්යය කිරීම තුළින් පවතින උස්සාන වාරිමාර්ග පද්ධතිය වඩාත් ඵලදායී එකක් බවට පත්වනු ඇත.

  • මල්වතුඔය ව්‍යාපාරය

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සහ උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කය යා කරමින් තන්තිරිමලේ බෝගොඩ දී මල්වතුඔය හරස් කර පහළ මල්වතුඔය ජලාශය ඉදිකිරීම ආරම්භ කර ඇත. මෙමඟින් මල්වතුඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය හා කෘෂි කාර්මික නිෂ්පාදනය කෙරේ බලපාන ප්‍රධාන සාධකයක් වන ජල හිඟය මග හැරවීම සමඟ, තන්තිරිමලේ ප්‍රදේශයේ අක්කර 2,500ක නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම මූලිකම අරමුණ වේ. තවද, කෘෂි කාර්මික ප්‍රතිලාභ යටතේ මන්නාරම් දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ අක්කර 30,681ක් වන කුඹුරු ඉඩම්වල සමස්ත බෝග වගාවේ වගා තීව්‍රතාව 2.0ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කිරීම, විදුලිබල ප්‍රතිලාභ යටතේ මෙගාවොට් 1ක ධාරිතාවකින් යුත් ජල විදුලි ජනනයකින් ද යුක්ත වන අතර, පානීය ජල සම්පාදනය සඳහා වාර්ෂිකව ඝන මීටර් මිලියන 27ක් පමණ වූ ජල ධාරිතාවක් අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක සඳහා ලබාදීමට සැලසුම් කර ඇති අතර, අලුතින් කෘෂි කාර්මික ඉඩම් අක්කර 2,000ක් සංවර්ධනය කර බලපෑමට ලක්වන්නනට ජාතික ප්‍රතිපත්තියට අනුව ඉඩම් ලබාදීමට යෝජිතය.

මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 22,900කි. 2021 වසරේ වැඩ ආරම්භ කර 2024 වසරේ වැඩ නිම කිරීමට සැලසුම් කර ඇති අතර, 2021 පසුගිය වසරේ රුපියල් මිලියන 325ක වියදම් දරා 2022 වසර සඳහා රුපියල් මිලියන 3,700ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත.

  • දෙමටගල්ල ව්‍යාපාරය

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගනය ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලයට හා පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කහල්ල ප්‍රදේශයේ දෙමටගල ජලාශ ව්‍යාපෘතිය සිදු කිරීමට සැලසුම් කර ඇත. උතුරු දිශාවෙන් බලලු වැව ද, ගිනිකොණ දෙසින් දේවහුව ජලාශය ද මායිම් ලෙස පිහිටයි. ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වන අතර, පවතින ජල හිඟය හේතුවෙන් යල-මහ දෙකන්නයෙන් මහ කන්නය පමණක් වගා කටයුතු සිදු කරයි. ගොවි පවුල් 1,246ක් අක්කර 1,350ක පමණ ගා කටයුතු සිදු කරන අතර, වගා බිම් ප්‍රමාණය අක්කර 3,000 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙයි. පැරණි දෙමටගල ජලාශ නැවත ඉදිකර ඇළ මාර්ගය ඔස්සේ දෙපස පවතින කුඩා වැව් සඳහා ජලය ලබාදීම, දැනට අබලන්ව පවතින හවාන් ඇල්ල අමුණ නැවත ඉදිකර වම් ඉවුර ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම, ඇළ මාර්ගය දෙපස පවතින කුඩා වැව් 32ක් සඳහා ජලය සැපයීම හා කුඩා වැව් ප්‍රතිසංස්කරණ කිරීම මූලික අරමුණ වේ.

රුපියල් මිලියන 2,230කට ඇස්තමේන්තු කළ ව්‍යාපෘතිය සඳහා 2021 වසරේ ඔක්තෝබර් මස වැඩ ආරම්භ කර මූලික වැඩ සඳහා රුපියල් මිලියන 05ක මුදලක් වියදම් කර රුපියල් මිලියන 50ක් 2022 වසර සඳහා වෙන් කර ඇත.

 

  • කුඩාවිලච්චිය ව්‍යාපාරය

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩාවිලච්චිය ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ කර ඇත. රුපියල් මිලියන 6,000ක ඇස්තමේන්තු ගත මුදලක් යටතේ වසර තුනකින් නිම කිරීමට සැලසුම් කොට ඇත. මහවිලච්චිය ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසයේ උග්‍ර ගැටලුවක් පවතින පානීය ජල හිඟයට පිළියමක් සැපයීම මෙහි ප්‍රධාන අරමුණ වේ. මීට අමතරව කෘෂි කාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම හා ජාතික වන උද්‍යානයේ ජීවත් වන වනසිවුපාවන්ගේ ජල හිඟය විසඳීම මඟින් අලි-මිනිස් ගැටුම් අවම කිරීම මෙහි අනෙකුත් අරමුණ වේ.  කිලෝමීටර 2.5ක දිග සහිත ප්‍රධාන වේල්ල ඉදිකිරීම, අරිය දොරටු 5ක් සහිත වාන් ඇළ ඉදිකිරීම හා කිලෝමීටර 3.2ක දිග  ප්‍රමාණයක් වූ සැපයුම් ඇළ ඉදිකිරීම මෙහි ප්‍රධාන කාර්යයන් වේ. මෙම ව්‍යාපෘතිය 2021 මාර්තු මස වැඩ ආරම්භ කර 2024 වැඩ අවසන් කිරීමට නියමිතය. ඒ අනුව මාර්ග ඉදිකිරීම් හා මෙහි අනෙකුත් මූලික වැඩ සඳහා 2021 වසරේ රුපියල් මිලියන 98ක් වියදම් දරා 2022 වසර සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

 

(ඇ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-02-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks