බලන්න

04

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

2517/2021: තේ අපනයනය සඳහා වෙළෙඳ පොළ පුළුල් කිරීම: පියවර

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු වීරසුමන වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2020 වර්ෂයේදී තේ අපනයනය කිරීම මඟින් ශ්‍රී ලංකාව ලැබූ ආදායම, ශ්‍රී ලංකාවේ මුළු දළ ජාතික ආදායමෙන් සියයට 1.58ක් පමණ වේ.

              (ii)      2001 වර්ෂයේ තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 663.91ක් වූ අතර, 2020 වර්ෂයේ තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,240.64කි. ඒ අනුව, අපනයන       ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 576.73ක වර්ධනයක් පෙන්නුම් කරනු ලබයි.

(iii) 2021 වර්ෂයේදී තේ අපනයනයෙන් රුපියල් බිලියන 272ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂිතය.

(iv) ඔව්.

(ආ) (i) · අනර්ඝ තත්ත්වයේ - premium - "සිලෝන් තේවල පවතින එයටම ආවේණික වූ රසය සහ නැවුම් බව, ඉහළ තත්ත්වයේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ තිරසාර නිෂ්පාදන" යන සංකල්ප තේමා කර ගනිමින් ලොව වටා රටවල් 150ක පමණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.

· ශ්‍රී ලාංකික තේ සැපයුමට ඍජුව බාධා එල්ල වන චීනයේ සහ කෙන්යාවේ පුළුල් වන තේ වෙළෙඳ පොළ ප්‍රමාණාත්මක - volume - දියුණුවකටත් වඩා ආදායම කේන්ද්‍ර කරගත් උපායමාර්ග ඔස්සේ, මෙම අහිමි වන වෙළෙඳ පොළ ආරක්ෂා කර ගැනීම සිදු කරයි.

· අගය එකතු කරන ලද තේ - value-added tea - නිෂ්පාදනය සහ අපනයනය සඳහා සහනාධාර සැපයීම සිදු කිරීම.

· විශේෂිත ලෙස අගය එකතු කරන ලද තේ කාණ්ඩය - special tea category - බල ගැන්වීම.

(ii) · හඳුනාගත් වෙළෙඳ පොළවල්/ රටවල් 12ක් (රුසියාව, යුක්රේනය, ජපානය, චීනය, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, චිලී, ජර්මනිය, ඉරානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තුර්කිය) ඉලක්ක කරමින් "සිලෝන් තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන" 2021 නොවැම්බර් මස මැද භාගයේදී දියත් කිරීමට නියමිතය.

· මාස තුනක කාලයක් රටවල් 12ක් සඳහා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණ වැඩසටහනක් සිදු කරන ලද අතර, ඉදිරියේදී සමාජ මාධ්‍ය හරහා කෙටි කාලීන ප්‍රවර්ධන වැඩසටහන් සිදු කිරීමට ද නියමිතය.

· සිලෝන් තේ සඳහා භූගෝලීය දර්ශකය - GI - ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

· යුක්රේනයේ සිල්පෝ සුපිරි වෙළෙඳ සැල් ජාලය සමඟ සිලෝන් තේ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

· හන්තාන පිහිටි සිලෝන් තේ කෞතුකාගාරය නව සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව කටයුතු කරමින් පවතී.

· වාර්ෂිකව ලොව පුරා වෙළෙඳ ප්‍රදර්ශන 30කට පමණ සහභාගි වීම.

· තේ අපනයනකරුවන්හට සිලෝන් තේ සන්නාම ප්‍රවර්ධනය - brand promotion scheme - සඳහා සහන ලබා දීමට 2021/2022 යෝජනා ක්‍රමය යටතේ, රුපියල් බිලියන එකක් වෙන් කර ඇති අතර මේ වන විට ඒ සඳහා අයදුම් පත් කැඳවා ඇත.

(iii) · සිලෝන් තේ තොග - black tea - ලෙස කිලෝග්‍රෑම් මිලියන 3.4ක් සහ අගය එකතු කරන ලද තේ කිලෝග්‍රෑම් 60,000ක් චීනයට අපනයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ස්ටාර්චයිනා ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කම්පනි ලිමිටඩ්  - Fujian StarChina International Trade Company Limited - සමඟ මේ වන විටත් වෙළෙඳ ගිවිසුමකට එළඹ ඇත.

· ඉරානයට සිලෝන් තේ අපනයනය කිරීම මඟින් තෙල් මිලදී ගැනීම සඳහා ගෙවිය යුතු හිඟ මුදලක් පියවීමට යන්ත්‍රණයක් සකස් කරමින් පවතී. එමඟින්, වසර පහක කාලය තුළ ඉරානයට සිලෝන් තේ අපනයනය වසරකට සියයට 10 - සියයට 15කින් ඉහළ නැංවීමට නියමිත අතර, එමඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිතය.

· ඊජිප්තු වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකා තේ සඳහා වන වෙළෙඳ පොළ කොටස නැවත ස්ථාපනය කර ගැනීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් පවතී.

· එක්සත් රාජධානිය තුළ සිලෝන් තේ සඳහා වන වෙළෙඳ පොළ කොටස ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය තුළ සිලෝන් තේ ප්‍රවර්ධන අවස්ථා ලබා ගැනීමට මේ වන විට එම සංවිධානය සමඟ සාකච්ඡා කරමින් පවතී.

· පාකිස්තානය තුළ සිලෝන් තේ සඳහා වන වෙළෙඳ පොළ කොටස නැවත ලබාගැනීම වෙනුවෙන් එම වෙළෙඳ පොළට ගැළපෙන නව තේ නිෂ්පාදනය කිරීමට පර්යේෂණ සිදු කරමින් පවතී.

· අගය එකතු කරන ලද තේ කාණ්ඩයේ අනාගත වෙළෙඳ පොළ ජය ගැනීම උදෙසා නව නිපැයුම් සිදු කිරීමට අපේක්ෂා කරන නිෂ්පාදකයන් සඳහා මූල්‍යමය සහන ලබා දෙමින් ඔවුන් දිරිගැන්වීමේ වැඩසටහනක් දියත් කිරීමට යෝජිතය.

· මැද පෙරදිග සහ ආසියානු කලාපයේ සිලෝන් තේ ප්‍රවර්ධනය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

(ඇ) අදාළ නොවේ.

 

 

ගරු වීරසුමන වීරසිංහ මහතා

(மாண்புமிகு வீரசுமன வீரசிங்ஹ)

(The Hon. Weerasumana Weerasinghe)

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ගරු සභානායකතුමාගෙන් අතුරු ප්‍රශ්න අහන්න ඉඩ කඩක් නැහැ නේද?

බොහොම ස්තුතියි.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks