01

E   |     |  

 දිනය: 2021-12-08   පිළිතුර ලබා දී ඇත 

1420/2021: වැඩ බලන විදුහල්පති ඩී. සෂිකුමාර් මහතා: ස්ථාන මාරු කිරීම සහ නැවත සේවයේ පිහිටුවීම

1420/2021

ගරු අශෝක් අබේසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මහනුවර, තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ මහ/තෙල්/නාමගල් දෙමළ විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කරන ලද ඩී. සෂිකුමාර් මහතා දුෂ්කර පාසලකට සාමාන්‍ය ගුරුවරයකු ලෙස ස්ථාන මාරු කරන ලද බවත්;

(ii) මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් පසුව ශෂිකුමාර් මහතා  නැවත සේවයේ පිහිටුවීමට නිර්දේශ කරන ලදුව තෙල්දෙණිය නවනගල දෙමළ විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති ලෙස නැවත පත් කර ඇති බවත්;

(iii) මේ වනතෙක් ඒ මහතාට රාජකාරි භාරදීම හෝ කාර්යාලය ලබාදීම සිදු කර නොමැති බවත්;

(iv) මේ වනවිට වසරක් පමණ ගත වුවද, ඉහත සඳහන් ගැටලුව විසදීම සඳහා පියවර ගෙන නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) සෂිකුමාර් මහතාට සිදු වී ඇති අගතිය පිළිබඳව සාධාරණය ඉටුකිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-12-08

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 -  1 පන්තියේ ඩී. සෂිකුමාර් මහතාගේ ඉල්ලීම පරිදි මප/තෙල්/උඩිස්පත්තුව මුස්ලිම් විදුහල වෙත එම මහතාව ස්ථාන මාරු කර ඇත.

              (ii)      මප/තෙල්/නවනගල දෙමළ විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයෙකු පත් කරන තෙක් රාජකාරි ආවරණය කිරීම සඳහා ඩී. සෂිකුමාර් මහතා පත් කර ඇත. (ඇමුණුම 01හි දක්වා ඇත.)

(iii) මප/තෙල්/නවනගල දෙමළ විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයෙකු පත් කරන තෙක් රාජකාරි ආවරණය කිරීම සඳහා ඩී. සෂිකුමාර් මහතා පත් කළ පසු, උක්ත විදුහලේ සේවයේ නිරතව සිටි වැඩ බලන විදුහල්පති එෆ්. ෆැට්‍රික් මහතා විසින් ඩී. සෂිකුමාර් මහතාට විදුහල්පති තනතු‍රේ රාජකාරි භාර නොදීම මත ගැටලුකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

ඊට විසඳුම් ලෙස එෆ්. ෆැට්‍රික් මහතාට ඔහුගේ නිත්‍ය තනතුර වන ප්‍රාථමික ගුරු උපදේශක තනතුර සඳහා කලාප අධ්‍යාපන කාර්යාලය වෙත වාර්තා කරන ලෙස දැනුම් දුන්නද, ඒ මහතා ඊට අනුව කටයුතු කර නොමැති බැවින් මප/තෙල්/රංගල දෙමළ මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති වන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියේ සී.ආර්. ශ්‍රීධරන් මහතා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අංක CPC/CMS/1/30/1 හා 2020.12.31 දිනැති ලිපියෙන් මප/තෙල්/නවනගල දෙමළ විදුහලේ විදුහල්පති ලෙස පත් කර ඇත. (ඇමුණුම 02)

ඒ අනුව සී.ආර්. ශ්‍රීධරන් මහතා 2021.01.19 දින උක්ත විදුහලේ රාජකාරි භාරගෙන ඇත‍. (ඇමුණුම 03)

(iv) ඉහත (අ) (iii)‍ට අදාළ පිළිතුර අනුව එම ගැටලුව විසඳා ඇත.

(ආ) ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියේ සී.ආර්. ශ්‍රීධරන් මහතා විදුහල්පති ලෙස මප/තෙල්/නවනගල දෙමළ විදුහලේ වැඩ භාර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ගුරු සේවයේ ඩී. සෂිකුමාර් මහතා ස්ථාන මාරුවක් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇත. (ඇමුණුම 04)

ඒ අනුව තෙල්දෙනිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අංක මප/‍අධ්‍යා/තෙල්/1/8/71 හා 2021.04.07 දිනැති ලිපිය මගින් ඩී. සෂිකුමාර් මහතාගේ ඉල්ලීම මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට මප/තෙල්/උඩිස්පත්තුව මුස්ලිම් විදුහලට ස්ථාන මාරුවීමක් ලබා දී ඇත. (ඇමුණුම 05)

ඒ අනුව ඩී. සෂිකුමාර් මහතා 2021.04.08 වන දින එම විදුහලේ සේවයට වාර්තා කර ඇත. (ඇමුණුම 06)

  01 සිට 06 දක්වා ඇමුණුම් සියල්ල සභාගත* කරමි.‍

 

මප/තෙල්/නවනගල දෙමළ විදුහලට ශ්‍රේණිධාරි විදුහල්පතිවරයෙකු පත් කිරීම හා ශ්‍රී ලංකා ගුරු සේවයේ 2-1 පන්තියේ ඩී. සෂිකුමාර් මහතා නැවත ගුරුවරයෙකු වශයෙන් මප/තෙල්/උඩිස්පත්තුව මුස්ලිම් විදුහලේ රාජකාරි භාර ගැනීම නිසා ඩී. සෂිකුමාර් මහතාට අගතියක් හෝ අසාධාරණයක් සිදු වී නොමැති බව වාර්තා වේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-12-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks