01

E   |     |  

 දිනය: 2021-12-04   පිළිතුර ලබා දී ඇත 

1103/2021: ලීසිං ගෙවීම් සඳහා ලබා දුන් සහන කාලයට අධික පොලියක් අය කිරීම: වැළැක්වීම

1103/2020

ගරු ජේ.සී. අලවතුවල මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      කොවිඩ් - 19 වසංගතය හේතුවෙන්, ලීසිං පදනම මත වාහන ලබා ගත් පුද්ගලයන්ට සිය ලීසිං වාරික ගෙවීම සඳහා 2020 මාර්තු සිට මාස 06ක සහන කාලයක් ලබා දුන් බවත්;

             (ii)      එම සහන කාලය සඳහා ලීසිං සමාගම් විසින් ලීසිං පදනම මත වාහන ලබා ගත් පුද්ගලයන්ගෙන් අධික පොලියක් අය කළ බවත්;

(iii) කොවිඩ් - 19 වසංගතයේ දෙවන ‍ව්‍යාප්තිය හේතුවෙන්,  ලීසිං වාරික ගෙවීම සඳහා 2020 ඔක්තෝබර් සිට නැවත වරක්  මාස 06ක සහන කාලයක්  ලබා දී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත (අ) (iii) හි සඳහන් සහන කාලය සඳහාද ලීසිං  පදනම මත වාහන ලබා ගත් පුද්ගලයන්ගෙන් පළමු වාරයේදී මෙන් පොලියක් අය කිරීම වැළැක්වීමට පියවර ගන්නේද;

(ii) මුල් සහන කාලය සඳහා පොලියක් අය කිරීම හේතුවෙන් සිදු වූ අසාධාරණය නිවැරදි කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-12-04

අසන ලද්දේ

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය වන සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් -ලීසිං සමාගම්- ඔස්සේ පහත සඳහන් ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක වේ.

                        ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.03.27 දින නිකුත් කරන ලද 2020 අංක 5 දරන චක්‍රලේඛය අනුව, කොවිඩ්-19 නිසා බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන් විසින් ලබා ගත් කල්බදු -ලීසිං- පහසුකම් සඳහා මාස 6ක් දක්වා ණය සහන ලබා දුන් අතර, ඒ අනුව ලීසිං පදනම මත වාහන ලබා ගත් පුද්ගලයන්ට සිය ලීසිං වාරික ගෙවීම සඳහා 2020.09.30 දින දක්වා මාස 06ක ණය සහන කාලයක් - debt moratorium එකක් - ලබා දෙන ලදී.

(ii) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ණය සහන වැඩ පිළිවෙළ යටතේ කොවිඩ්-19 නිසා බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන් හට තම ණය වාරික ගෙවීම කල් දැමීමට හැකියාව ලැබුණු නිසා, මූලික ණය ගිවිසුමේ කොන්දේසි කඩවීම නිසා අය වන දඩ පොලියෙන් නිදහස් වීමට හැකියාව ලැබුණි.  නමුත්, බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත ණය අය කර ගැනීම් ප්‍රමාද වීම නිසා දැරීමට සිදුවන ආවස්ථික පිරිවැය පියවා ගැනීමට, පවතින වෙළෙඳ පොළ පොලී අනුපාතයන්ට වඩා අඩු සහනදායී පොලී අනුපාතිකයක් අය කිරීමට අවසර ලබා දෙන ලදී.

ගරු මන්ත්‍රීතුමනි, මෙහි කොටස් දෙකක් තිබෙනවා.  ඒ එකින් එක මම කියන්නම්.

බලපත්‍රලාභී බැංකු

ණය සහන කාලය තුළ දී කල් දමන ලද ණය වෙනුවෙන් බලපත්‍රලාභී බැංකු වෙත කිසිදු මුදලක් අය නොවීමෙන් අදාළ බැංකු විසින් තැන්පතු සඳහා ගෙවීමට ඇති පොලී සහ බැංකු විසින් ලබාගෙන ඇති ණය ‍සඳහා පොලී ගෙවීම සඳහා දැරීමට සිදුවන පිරිවැය පියවා ගැනීම පිළිබඳ ගැටලු සලකා බලමින් බලපත්‍රලාභී බැංකු, ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජයේ ඉහළ බලාධිකාරීන් සමඟ කරන ලද සාකච්ඡාවලින් පසු සමාන මාසික වාරික - EMI - ණයවල කල් තබන ලද වාරික සඳහා සියයට 7ක අමතර පොලියක් අය කර ගැනීම සඳහා බලපත්‍රලාභී බැංකු වෙත අවසර ලබා දෙන ලදී.

මෙම අමතර පොලිය කල් තබන ලද වාරික සඳහා පමණක් අය කෙරෙන අතර, මීට අමතරව ණය සහන කාලය සඳහා සාමාන්‍යයෙන් ණය වාරික ආපසු ගෙවීම පැහැර හැරීමකදී අය කරනු ලබන දඩ පොලී (සාමාන්‍ය ණය පොලී අනුපාතයට සියයට දෙකක් වැඩි පොලී අනුපාතිකයකින් අය කරනු ලබන අමතර පොලිය) අය කිරීමක් සිදු නොවේ. එමෙන්ම, මෙම ණය සහන යෝජනා ක්‍රමයට සහභාගි වන අක්‍රිය කාණ්ඩයේ ණය සඳහා ඒ දක්වා අය කර ඇති, නොගෙවූ දඩ පොලී කපා හැරීමට කටයුතු කර ඇත.

 

බැංකු නොවන මූල්‍ය ආයතන

කොවිඩ් - 19 පළමු ව්‍යාප්තිය හේතුවෙන් ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලබා දුන් ණය සහන යෝජනා ක්‍රම යටතේ ණය සහන ලබා දීමේදී බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් (මින් ඉදිරියට බැංකු නොවන මුල්‍ය ආයතන ලෙස හඳුන්වන) විසින් භාර ගත් තැන්පතු  සහ ලබා ගත් ණය සඳහා පොලී ගෙවීමේදී දැරීමට සිදු වන පිරිවැය පියවා ගැනීම පිළිබඳ ගැටලු මතුවීම නිසා බැංකු නොවන මූල්‍ය ආයතනවල බලවත් ඉල්ලීම මත සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල අධික පිරිවැය සැලකිල්ලට ගනිමින් සියයට 11.5ක (වාර්ෂික) උපරිමයකට යටත්ව ණය සහන කාලසීමාව තුළ සහනදායී පොලියක් අය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබා දෙන ලදී.

ණය සහන කාලයට අයත් වාරික සඳහා පමණක් වාර්ෂිකව සියයට 11.5ක සහනදායී පොලී අනුපාතයක් අය කරන ලද අතර, ණය සහන කාලය තුළ දඩ පොලිය එකතු කිරීමක් හෝ අය කිරීමක් සිදු නොවේ.

(iii) කොවිඩ් -19 දෙවන ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, පීඩාවට පත් වූ ගනුදෙනුකරුවන්ගේ කල්බදු පහසුකම් ඇතුළුව අනෙකුත් ණය පහසුකම් සඳහා ලබා දුන් ණය සහන කාලය 2021.03.31 දින දක්වා තවත් මාස 06කින් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත 2020.11.09 දින නිකුත් කරන ලද 2020 අංක 10 සහ 11 යන චක්‍රලේඛ මඟින් දැනුම් දෙන ලදී.

බලපත්‍රලාභී බැංකු

  • · බලපත්‍රලාභී බැංකු වෙතින් ලබා ගත් කල්බදු පහසුකම් සඳහා මෙම ණය සහන කාලය අවස්ථා දෙකකදී පිළිවෙළින් 2021.08.31 සහ 2021.12.31 දක්වා දීර්ඝ කිරීමට 2021.05.25 දින සහ 2021.09.01 දිනයන්හිදී නිකුත් කරන ලද 2021 අංක 05 සහ 08 දරන චක්‍රලේඛ මඟින් කටයුතු කරන ලද අතර, සංචාරක කර්මාන්තයේ නියුතු රථ වාහන සඳහා ලබා ගත් කල්බදු සඳහා මෙම සහන කාලය 2022.06.30 දක්වා දීර්ඝ කරන ලදී.

බැංකු නොවන මූල්‍ය ආයතන

  • · තවද, කොවිඩ්-19 තෙවන රැල්ලෙන් පීඩාවට පත්වූ ණය ගනුදෙනුකරුවන්ගේ ණය පහසුකම් සඳහා ලබා දුන් ණය සහන කාලය 2022.03.31 දින දක්වා දීර්ඝ කිරීම සඳහා 2021 අංක 06 දරන චක්‍රලේඛය සහ 2021 අංක 09 දරන චක්‍රලේඛය පිළිවෙළින් 2021.06.09 වන දින සහ 2021.10.06 වන දින බැංකු නොවන මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලදී.

(ආ) (i)

බලපත්‍රලාභී බැංකු

· ඉහත සඳහන් කළ පරිදි මෙම ණය සහන කාලය සඳහා අය කළ අමතර පොලිය හුදෙක් එම කාලය තුළ බලපත්‍රලාභී බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන විසින් දැරීමට සිදු වන ආවස්ථික පිරිවැය පියවා ගැනීම සඳහා පමණක් වන අතර, 2021 වසරේදී සිදු කරන ලද ණය සහන කාලය දීර්ඝ කිරීම් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් අය කළ හැකි අමතර පොලිය ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කළ දිනට ආසන්නතම දින 364ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි අනුපාතයට සියයට 1ක් එකතු කළ අගය නොඉක්මවන උපරිම වාර්ෂික පොලී අනුපාතිකයකට (2021.05.15 සිට 2021.08.31 දක්වා වා.පො.අ. සියයට 6.18 සහ 2021.09.01 සිට 2021.12.31 දක්වා වා.පො.අ. සියයට 6.93) යටත් වේ.

මෙහිදී මීට පෙර ණය සහන කාල තුළදී කල්දමන ලද වාරික, ඒ සඳහා අයවිය යුතු අමතර පොලිය සහ මෙම නව කල් දමන ලද වාරික යන සියල්ල කාලීන ණයකට පරිවර්තනය කිරීම සිදු වන අතර, මෙම නව ණය ඉහත සඳහන් කරන ලද සහනදායී පොලී අනුපාතිකය යටතේ 2022.07.01 දින සිට මාස හයකින් අයකර ගැනීමට බලපත්‍රලාභී බැංකු කටයුතු කරනු ඇත.

බැංකු නොවන මූල්‍ය ආයතන

කොවිඩ් - 19 දෙවන ව්‍යාප්තිය සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2020 අංක 11 දරන චක්‍රලේඛය යටතේ ද සහන කාල සීමාවට අදාළ මුල් මුදල සහ පොලිය සහන කාල සීමාව අවසානයේ දී, එනම් 2021.04.01 දින සිට කාලීන ණයකට පරිවර්තනය කර අවම වසර දෙකකින් අයකර ගැනීමට බැංකු නොවන මූල්‍ය ආයතනවලට අවසර ලබාදී ඇති අතර, සියයට 10.61ක (වාර්ෂික) උපරිමයකට යටත්ව සහනදායී පොලියක් අය කිරීමට අවසර ලබා දෙන ලදී.

(ii)

බලපත්‍රලාභී බැංකු

බලපත්‍රලාභී බැංකු වෙතින් ලබාගත් කල්බදු පහසුකම් ද ඇතුළත්ව ණය සහන කාලය සඳහා අය කරනු ලබන අමතර පොලිය (2021.05.15 සිට 2021.08.31 දක්වා වා.පො.අ. සියයට 6.18 සහ 2021.09.01 සිට 2021.12.31 දක්වා වා.පො.අ. සියයට 6.93) වෙළෙඳ පොළ පොලී අනුපාත හා සැසඳීමේදී සාධාරණ සහ සහනදායී අගයක් වේ.

කෙසේ වෙතත්, සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ සය මාසික ඉදිරි දැක්මෙහි ප්‍රකාශයට පත් කර ඇති පරිදි, කොවිඩ් - 19 නිසා බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින් ලබාගත් ණය සහන සඳහා අය කළ පොලී සම්බන්ධයෙන් සහනයක් ලබා දීම සඳහා ඉදිරියේදී පියවර ගනු ඇත.

 

බැංකු නොවන මූල්‍ය ආයතන

බැංකු නොවන මූල්‍ය ආයතන ද බලපත්‍රලාභී බැංකු හා සමානම මූල්‍ය අතරමැදිකරණයක නියැළී සිටින අතර, එහිදි‍ තැන්පත්කරුවන් හෝ ණය හිමියන් හරහා පොලී පිරිවැයක් යටතේ රැස් කරගන්නා අරමුදල් එම සමාගම් විසින් ලාභ ආන්තිකයක් රඳවා ගනිමින් ඉහළ පොලී අනුපාතයකට ණය ගැනුම්කරුවන් වෙත ලබා දේ. වසංගතයෙන් පීඩාවට පත් පාරිභෝගිකයන්ට සහන සැලසීමේදී, බැංකු නොවන මූල්‍ය ආයතන විසින් තැන්පත්කරුවන් සහ ණය හිමියන් වෙත ප්‍රාග්ධනය සහ පොලී ආපසු ගෙවීම සඳහා ඇති බැඳීම් සපුරාලීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයක් ඇති බව සහතික කිරීම වැදගත් වේ. බැංකු නොවන මූල්‍ය ආයතන විසින් තැන්පත්කරුවන්ට සහ ණය හිමියන්ට ගෙවන පොලිය හැර අනෙකුත් මෙහෙයුම් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ශුද්ධ පොලී ආදායමක් උපයා ගත යුතු බව සඳහන් කිරීම වැදගත් වේ. බැංකු නොවන මූල්‍ය ආයතනවල අරමුදල් පිරිවැය බලපත්‍රලාභී බැංකුවලට වඩා වැඩි වන අතර, රජයේ අනුග්‍රහය පවතින අඩු වියදම් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රම සඳහා ප්‍රවේශ වීමේ හැකියාව බැංකු නොවන මූල්‍ය ආයතනවලට නොමැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම මත, බලපෑමට ලක් වූ පාරිභෝගිකයන්ගේ මුල් ණය පහසුකමෙහි පොලී අනුපාතවලට සාපේක්ෂව ණය සහන කාලසීමාව තුළ කල් දැමූ වාරික සඳහා සහනදායි පොලී අනුපාතයක්   අය කිරීමට බැංකු නොවන මූල්‍ය ආයතන එකඟ විය.

(ඇ)          පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks