පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1102/2020
ගරු ජේ.සී. අලවතුවල මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සුළු අපනයන බෝග වගාකරුවන් අතර ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් විදේශ විනිමය උපයා දෙනු ලබන කරඳමුංගු, කරාඹු නැටි සහ ගම්මිරිස් වගාකරුවන් සිටින බවත්;
(ii) කරඳමුංගු, කරාඹු නැටි සහ ගම්මිරිස් යන සුළු අපනයන බෝගවල ගැනුම් මිල පහත වැටෙන අවස්ථාවලදී එම වගාකරුවන්ට අසාධාරණයක් සිදු වන බවත්;
(iii) ගැනුම් මිල පහත වැටෙන අවස්ථාවලදී, කරඳමුංගු, කරාඹු නැටි සහ ගම්මිරිස් වගාකරුවන් එම සුළු අපනයන බෝග වගා කිරීමෙන් ඉවත් වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ගැනුම් මිල පහත වැටෙන අවස්ථාවලදී, කරඳමුංගු, කරාඹු නැටි සහ ගම්මිරිස් වගාකරුවන් සඳහා සහනාධාර මුදලක් ලබා දීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-11-20
අසන ලද්දේ
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. 2021 වර්ෂයේ සැප්තැම්බර් මස 30 දක්වා අපනයන කෘෂි බෝගවලින් උපයා ගන්නා ලද සමස්ත විදේශ විනිමය රුපියල් මිලියන 71,856.26කි. මෙරට අපනයන කෘෂි බෝග වගාකරුවන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ගම්මිරිස්, කරාබුනැටි සහ කරදමුංගු වගාවන්හි නියැලෙන අතර, ඔවුන්ගේ නිෂ්පාදනයන් අපනයනය කිරීමෙන් 2021 වසරේ රුපියල් මිලියන 23,837ක විදේශ විනිමයක් උපයාගෙන ඇත. එය අපනයන කෘෂි බෝගවලින් උපයාගන්නා ලද සමස්ත විදේශ විනිමයෙන් සියයට 33.18ක් වේ.
(ii) මෙම කෘෂි බෝග නිෂ්පාදන අපනයන වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කරනු ලබන අතර, අන්තර්ජාතික වෙළෙඳ පොළේ මිල ගණන් උච්චාවචනය වීම මත දේශීය ගැණුම් මිලද වරින්වර වෙනස් වීමට භාජනය වේ. නමුත් සමස්තයක් ලෙස ගත්විට මෙම බෝග නිෂ්පාදනය වගාකරුවන්හට ලාබදායි වන අතර නිෂ්පාදන වියදමට සාපේක්ෂව ඉහළ වෙළෙඳ පොළ මිලක් ලබාගැනීමේ හැකියාව පවතී.
තවද, මේ වන විට අපනයන කෘෂි බෝග නිෂ්පාදන සඳහා සැලකිය යුතු ඉහළ ගැනුම් මිලක් දේශීය වෙළෙඳ පොළ තුළ පවතින අතර, ගම්මිරිස් කිලෝ එකක් සඳහා රුපියල් 1,061ක මිලක්ද, කරාබුනැටි කිලෝ එකක් සඳහා රුපියල් 1,308.43ක මිලක්ද, කරදමුංගු කිලෝ එකක් සඳහා රුපියල් 8,041.67ක මිලක්ද ලැබේ.
(iii) මෙම බෝගවල ගැනුම් මිල පහත බසින අවස්ථාවල සමහර වගාකරුවන් වගා කටයුතුවලින් ඉවත්වීම සිදු වුවද, අපනයන කෘෂි බෝගවල පවතින ලාභදායී බව සැලකිල්ලට ගෙන බොහෝ විට ගොවීන් අඛණ්ඩව වගා කටයුතුවල රැඳී සිටින බව නිරීක්ෂණය වෙයි.
එසේම, උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් කෘෂි අපනයන කලාප වැඩසටහන යටතේ කලාප 1,000ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, මේ වන විට කලාප 260ක වැඩ ආරම්භ කොට ඇත. අපනයන කෘෂි භෝග වගා සංවර්ධනය හා ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන සඳහා අවශ්‍ය ගුණාත්මක බීජ, රෝපණ ද්‍රව්‍ය, තාක්ෂණික සහාය, තාක්ෂණික දැනුම, ජල සම්පාදනය වැනි පහසුකම් සපයා දෙනු ලබයි. මෙම වැඩසටහන යටතේ නව වගාකරුවන් මෙම ක්ෂේත්‍රයට යොමු කර ගැනීම සිදු වේ.
එමෙන්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් අගය එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුළින්ද, නව වගාකරුවන් මෙම ක්ෂේත්‍රයට යොමු කර ගැනීමත් සිදු වේ.
(ආ) අපනයන කෘෂි බෝග වගා සංවර්ධනය හා ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා වන ආයෝජන ආධාර වැඩසටහන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ කුළුබඩු හා ආශ්‍රිත භෝග වගාවන්ගේ වෙළෙඳ පොළ ස්ථායීතාව සඳහාත්, අළෙවිකරණ පහසුව සඳහාත් කුළු බඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇත. ඒ අනුව ගොවීන්ගෙන් ඍජුවම නිෂ්පාදන මිලදී ගැනීමටත්, අගය එකතු කළ නිෂ්පාදන ලෙස පාරිභෝගිකයන්ට අළෙවි කිරීමටත් කටයුතු කෙරේ. මේ සඳහා නිෂ්පාදන අළෙවි සැලක්ද ආරම්භ කර ඇත. කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අළෙවි මණ්ඩලය මේ වසරේ අප්‍රේල් මස සිට ගම්මිරිස් වෙළෙඳ පොළ මිල පාලනය වෙනුවෙන් ගම්මිරිස් කිලෝ එකක් රුපියල් 800ක් බැගින් මෙට්‍රික් ටොන් 25.80ක් දැනටමත් මිලදී ගෙන ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-11-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks