බලන්න

04

E   |     |  

 දිනය: 2021-03-26   පිළිතුර ලබා දී ඇත 

1081/2021: තෙකලා විදුලි සම්බන්ධතා: තත්ත්ව පරීක්ෂණ වාර්තාව

----

අසන ලද දිනය

2021-03-26

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ඇම්පියර් 30 සහ ඇම්පියර් 60 සැපයුම් සඳහා වරලත් ඉංජිනේරුවරයෙකුගේ තත්ත්ව සහතිකයක් ඉල්ලා සිටීම කොළඹ නගර සීමාව තුළ කලක සිට ක්‍රියාත්මක විය. මෙවැනි සහතිකයක් අවශ්‍ය වනුයේ පාරිභෝගික ජීවිත හා දේපළ ආරක්ෂාව වෙනුවෙන් අභ්‍යන්තර විදුලි පද්ධතිය නිසි ප්‍රමිතියකට අනුව නිම කර ඇති බව සනාථ කිරීම සඳහාය.

              (ii)      මෑතක සිට කොළඹින් පිට පළාත්වල ඇම්පියර් 30 සහ 60 තෙකලා විදුලි සැපයුම් සඳහා මෙම සහතිකය ලබා දීම අවශ්‍ය බව තීරණය කර ඇත. මෙවන් අවශ්‍යතාවක් පැන නැඟී ඇත්තේ මෑතකදී විදුලි අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වීම සහ එවන් අනතුරු බොහොමයක් අභ්‍යන්තර තතැදුම් පද්ධතියේ (වයරින්වල) නිසි ප්‍රමිතියක් නොවීමෙන් හටගත් දෝෂ නිසා ඇති වී තිබෙන බව අනාවරණය වීමත් සමඟයි. එසේම, මෑතකදී පටන් තෙකලා විදුලි සැපයුම් සඳහා කරන ඉල්ලීම් ද සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා. අත්දැකිම් සහ නිසි පුහුණුවක් නොමැති විදුලි කාර්මිකයන් - electricians - විසින් විදුලි වයරින් වැඩ කිරීම ඒවායේ නිසි ප්‍රමිතියක් නොමැති වීමට ප්‍රධානම හේතුව බව ද වාර්තා වී ඇත. නිවාස සහ අනෙකුත් ගොඩනැඟිලිවල අභ්‍යන්තර විදුලි පද්ධතිය නිසි ප්‍රමිතියකට (wiring standard) අනුව කර ඇති බව සනාථ කිරීම ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීමක් බැවින් ඉහත කී තීරණය ක්‍රියාත්මක කරන ලදී.

සටහන:-

(1) අභ්‍යන්තර විදුලි පද්ධතියක් (විශේෂයෙන්ම තෙකලා විදුලි සම්බන්ධතාවක්) පරීක්ෂා කර එය සහතික කිරීම සැලකිය යුතු කාලයක් සහ ශ්‍රමයක් වැය වන ක්‍රියාවකි. මෙම කාර්යය ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් පමණක් කිරීමේදී අනවශ්‍ය කාලයක් ගත වීමෙන් පාරිභෝගිකයා අපහසුතාවට පත් විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ මතයයි. පාරිභෝගිකයන්ගේ පහසුව තකා ලංකා විදුලිබල මණ්ඩලයේ ලියාපදිංචි ස්වාධීන වරලත් විදුලි ඉංජිනේරුවරයෙකු - Chartered Electrical Engineer - මඟින් මෙම සහතිකය ලබා දීම දැනට සිදු කරයි.

(2) සාමාන්‍යයෙන් අඩු ආදායම්ලාභීන් වශයෙන් සැලකෙන විදුලි පාරිභෝගිකයන්ගේ නිවාසවලට ලබා දෙනුයේ ඇම්පියර් 30 එකලා විදුලි සැපයුමකි. කොළඹ නගර සීමාව තුළ හැර රටේ අනෙකුත් ප්‍රදේශවල ඇම්පියර් 30 එකලා විදුලි සැපයුමක් සඳහා දැනට වරලත් විදුලි ඉංජිනේරුවරයෙකුගේ සහතිකයක් ලබා දීම අවශ්‍ය නොවේ.

 

(iii) වරලත් විදුලි ඉංජිනේරුවරුන් විසින් අය කරනු ලබන ගාස්තුව, විදුලි පද්ධතියේ ප්‍රමාණය හා සංකීර්ණතාව මෙන්ම අදාළ ස්ථානයේ පිහිටීම අනුව වෙනස් විය හැක. එසේ අය කරනු ලබන මුදල සම්බන්ධයෙන් සීමා පැනවීමට හෝ නියාමය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැත. බොහෝ අවස්ථාවලදී මෙම මුදල රුපියල් 10,000ත්, රුපියල් 15,000ත් අතර බව නිරීක්ෂණය වේ.

මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ලංකා විදුලිබල මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින වරලත් ඉංජිනේරුවරුන්ගේ නම් ලැයිස්තුවක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයන්ට සපයනු ලබන අතර, ඔවුන් සමඟ මිල ගණන් එකඟ වී අදාළ වාර්තාව ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකියාව ඇත.

මෙම කාර්යය සඳහා වෘත්තිකයන් විසින් අය කරන ගාස්තු සම්බන්ධයෙන් කිසියම් නියාමනයක් කිරීමේ හැකියාව සලකා බලන ලෙස ඉල්ලීමක් මේ වනවිටත් විදුලිබල අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සලය - Engineering Council of Sri Lanka - වෙත යොමු කර තිබේ.

(ආ) විදුලි අනතුරු නිසා ජීවිත සහ දේපළවලට වන හානි වැළැක්වීමට ‍ගොඩනැඟිලිවල අභ්‍යන්තර විදුලි පද්ධතිය නිසි ප්‍රමිතියකට අනුව නිම කර ඇති බව සනාථ කළ යුතුය. ඒ අනුව අභ්‍යන්තර විදුලි පද්ධතියේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සහතිකයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් බැහැර වීමට හැකියාවක් නොමැත.

නිවාස සහ අනෙකුත් ගොඩනැඟිලිවල විදුලි කර්මාන්තයේ නියැළෙන විදුලි කාර්මිකයන් පුහුණු කිරීමේ සහ බලපත්‍ර ලබා දීමේ - licensing - ක්‍රියාවලියක් ශ්‍රී ලංකා මහජන උප‍යෝගීතා කොමිසම සහ ශ්‍රී ලංකා ඉංජි‍නේරු ආයතනය - Institution of Engineers, Sri Lanka - මඟින් මේ වනවිට ආරම්භ කර තිබේ. මහජන ආරක්ෂාව තහවුරු කරනු වස්, ඉදිරියේදී එවන් විදුලි කාර්මිකයන්ගෙන් පමණක් මෙම සේවය ලබා ගැනීම නිර්දේශ කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කෙරේ. අනාගතයේදී එවැනි රෙගුලාසියක් ක්‍රියාත්මක වුවහොත් වරලත් ඉංජිනේරු සහතිකය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.

 

(ඇ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-07-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks