01

E   |     |  

 දිනය: 2021-09-22   පිළිතුර ලබා දී ඇත 

0712/2021: වන අලි: සංගණනය සහ සංරක්ෂණය

----

අසන ලද දිනය

2021-09-22

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ වන අලි සංගණනයක් සිදු කර නැත. වන අලි සමීක්ෂණයක් පමණක් සිදු කර ඇත.

              (ii)      සංගණනයක් සිදු කර නොමැති බැවින් ඒ සඳහා වර්ෂයක් නම් කළ නොහැක.  මෙරට වන අලි ගහනය සම්බන්ධව අවසාන වරට සමීක්ෂණයක් සිදු කර ඇත්තේ 2011 වර්ෂයේදීය.

             (iii)      මෙරට වාසය කරන වන අලින් සම්බන්ධව සංඛ්‍යාත්මක තොරතුරක් ලබා දිය හැක්කේ 2011 වර්ෂයේදී සිදු කරන ලද දීපව්‍යාප්ත වන අලි සමීක්ෂණය ආශ්‍රයෙනි. ඒ අනුව වන අලි සමීක්ෂණයේ ගණනයට අනුව 2011 වන විට අවම වශයෙන් වන අලි 5,879ක් සිටින බව අනාවරණ වේ. (මෙය සංගණනයක් නොව සමීක්ෂණයක් බැවින් ශ්‍රී ලංකාවේ වෙසෙන මුළු වන අලි සංඛ්‍යාව නිශ්චිත වශයෙන් 5,879ක් නොවන බව සැලකිය යුතුය.)

(ආ) (i) මෙරට වාර්ෂිකව මිය යන වන අලි සංඛ්‍යාව අතරින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව වාර්ෂික මුළු එකතුව එක් එක් වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. වර්ෂ 2015 සිට 2020 වර්ෂය දක්වා පිළිවෙළින් 202, 279, 256, 319, 407 හා 321 ලෙස වන අලින් මිය ගොස් ඇත.

(ii) ජාතික වන අලි සංරක්ෂණ ප්‍රතිපත්තිය අනුව, වන අලි සංරක්ෂණය සඳහා නිර්දේශ කර ඇති ක්‍රියාකාරකම් බොහොමයක් වන අලින් රැක බලා ගැනීම සඳහා යොදා ගනු ලැබේ. ඒ යටතේ,

  • වන අලින්ගේ වාසස්ථාන සංරක්ෂණය.
  • වන අලින්ගේ වාසස්ථාන සුපෝෂණය.
  • වන අලින්ගේ වාසස්ථාන අතර සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම.
  • වන අලින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගැනීම.
  • වන අලි - මිනිස් ගැටුමට පෙළඹෙන වන අලින්ගේ අකල් මරණ වළක්වා ගැනීම සඳහා එම වන අලින් අල්ලා හොරොව්පතානේ පිහිටි වන අලි රැඳවුම වෙත ප්‍රතිස්ථාපනය කිරීම.
  • වන අලින් පිළිබඳව පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම.
  • වන අලින් සමඟ ගැටුමට පෙලඹෙන ජනතාව එම ගැටුමින් වළක්වා ගැනීම සඳහා දැනුවත් කිරීම.
  • වන අලින් ජනාවාස වෙත පැමිණ ගැටුමට මැදිවීම වැළැක්වීම සඳහා සංචරණ බාධක ස්ථාපනය කිරීම.
  • වන අලින්ට අපරාධ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම.
  • අතරමං වන හෝ අනාථ වන අලි පැටවුන් රැක බලාගෙන ස්වාභාවික පරිසරයට මුදා හැරීම.
  • වන     අලි සංරක්ෂණය සඳහා     අන්තර් ආයතනික සහයෝගිතාව දියුණු කිරිම හා දායකත්වය ලබා ගැනීම වැනි ක්‍රියා මාර්ග ගනු  ලැබේ.

(iii) ශ්‍රී ලංකාව තුළ අත්හදා බලා ඇති උපාය මාර්ග අතරින් වන අලින් ගම් වැදීම වැළැක්වීම සඳහා වැඩිම සාර්ථකත්වයක් ලබාගෙන ඇත්තේ අලි වැට නොහොත් අලින්ගේ සංචරණයට එරෙහිව ඉදිකරනු ලබන විදුලි වැට වේ.

(iv) සංඛ්‍යාත්මකව සැලකිය යුතු විකල්ප ප්‍රමාණයක් අත්හදා බලමින් පවතී. සංචරණ බාධක, අගල් වැනි උපක්‍රම සංචරණ බාධක ලෙස සාර්ථක වන නමුත්, ඉදිකිරීම සඳහා වැය වන අධික වියදම හා නඩත්තු දුෂ්කරතා, භූමිය ඛණ්ඩනය‍ට ලක් වීම නිසා වෙනත් සතුන්ට සිදු වන සංචරණ බාධක වැනි තත්ත්ව හා බාධක අගල් තුළ ජල කළමනාකරණය වැනි කරුණු අගල් ඉදිකිරීමේ පරමාර්ථයට බාධාවක් නොවන සේ කළමනාකරණය කර ගැනීමට තවදුරටත් හැදෑරීම් සිදු කරනු ලබයි.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks