01

E   |     |  

 දිනය: 2021-03-23   පිළිතුර ලබා දී ඇත 

0858/2021: Exploited funds in Samurdhi

858/2020

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී, දේශපාලන හිතවත්කම් මත සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් අවභාවිතා කිරීම හා සමෘද්ධි බැංකු කාර්ය මණ්ඩලය සඳහා දේශපාලන පදනමින් පත්වීම් ලබාදීම නීත්‍යානුකූල නොවන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් එවකට අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කර තිබූ බව එතුමා දන්නෙහිද? 

(ආ) ඒ සම්බන්ධයෙන් වර්තමාන රජය ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) 2015.01.12 සිට 2015.06.26 කාලය තුළ සමෘද්ධි විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමාත්‍යවරයාගේ‍ කාලයේදී රුපියල් ලක්ෂයේ ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය මුදල;

(ii) එසේ ලබා දුන් ණයවලින් මේ වනවිට අය වී ඇති මුදල;

(iii) තවදුරටත් අයවීමට ඉතිරිව තිබෙන මුදල;

එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ඈ) එවකට පැවති රජය දේශපාලන පදනමින් තෝරා ගත් පිරිසක් සඳහා මෙම ණය ලබා දුන් බව එතුමා පිළිගන්නෙහිද? 

(ඉ) එසේ සාවද්‍ය ආකාරයෙන් ණය ලබා දීම පිළිබඳව ගනු ලබන පියවර කවරේද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ඊ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-03-23

අසන ලද්දේ

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)     2019 වර්ෂයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජාතික සභාව වෙත ඉදිරිපත් කරන ලද පත්‍රිකාව මඟින් ලද අනුමැතිය මත එවකට අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ                  මත පරිගණක සහකාරවරුන් බඳවා ගෙන ඇති බවට කරුණු අනාවරණය වේ. මෙම බඳවා ගැනීම් විධිමත් ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමෙන් තොරව සිදු කර ඇති බව ද අනාවරණය විය.        මේ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර, එය විභාග වෙමින් පවතී. එබැවින් මෙම පත්වීම්ලාභීන් සේවයට කැඳවීම මේ වන විට නතර කර ඇත. ඒ වන විට පත්වීම් 1,588ක් පමණ ලබා දී ඇත.

(ඇ) (i) මුළු ණය මුදල රුපියල් මිලියන 3,003.7කි.

(ii) මේ වන විට අය වී ඇති මුදල රුපියල් මිලියන 2,962.3කි.

(iii) තවදුරටත් අය වීමට ඇති මුදල රුපියල් මිලියන 41.4කි. දිස්ත්‍රික් වාර්තාව ඇමුණුම මඟින් ඉදිරිපත් කර ඇත.

  ඇමුණුම සභාගත* කරමි.

(ඈ) එසේ ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, සමෘද්ධි බැංකු විසින් අදාළ ණය චක්‍රලේඛ උපදෙස් පරිදි ණය ලබා දී ඇත.

(ඉ) මෙසේ සාවද්‍ය ආකාරයෙන් ණය ලබා දුන් නිලධාරින් විසින් අදාළ අයකර ගැනීමේ කටයුතු සිදු කළ යුතු බවට උපදෙස් ලබා දී ඇති අතර, අය නොවෙමින් පවතින ණය සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කෙරේ.

(ඊ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-12-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks