E   |     |  

 දිනය: 2021-07-06   පිළිතුර ලබා දී ඇත 

0826/2021: "වයඹ සංස්කෘතික චතුරශ්‍ර" ව්‍යාපෘතිය: බඳවා ගත්/ඉවත් කළ සේවකයන්

----

අසන ලද දිනය

2021-07-06

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව "අතීත අභිමන හෙටටත්" යන සංකල්පයට අනුකූල වන පරිදි 2010 අය වැය යෝජනාවට අනුව අමාත්‍ය මණ්ඩල සංදේශය සීඑච්/37/2009 (ඇමුණුම 1) හා 2009.10.21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි වයඹ සංස්කෘතික චතුරශ්‍ර ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. (ඇමුණුම 2 හා ඇමුණුම 3)

(ආ)         (i)      මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ වයඹ චතුරශ්‍ර ව්‍යාපෘතියේ ස්ථිර සේවකයන් 177ක් හා සීමාසහිත සංස්කෘතික සංරක්ෂණ හා ඉදිකිරීම් පෞද්ගලික සමාගම මගින් ශ්‍රම කොන්ත්‍රාත්තුව යටතේ සේවකයන් 346 දෙනෙකු ද සේවයේ යොදවා ඇත. (ඇමුණුම 4)

(ii) 2015.09.21වන දින 1933/13 දරන අති විශේෂ ගැසට් පත්‍රය (ඇමුණුම 5) මගින් මධ්‍යම සංස්කෘතික අරමුදල, අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයට ගැනුණු අතර, සීමාසහිත සංස්කෘතික සංරක්ෂණ ඉදිකිරීම් පෞද්ගලික සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමේ ගිවිසුම් කාලය දීර්ඝ නොකළ බැවින් ශ්‍රම කොන්ත්‍රාත්තුව යටතේ සේවය ලබා ගත් සමාගමේ සේවකයන් 346 දෙනෙකුගේ සේවා කාලය දීර්ඝ නොකරන ලදී. (ඇමුණුම 4)

(iii) සීමාසහිත සංස්කෘතික සංරක්ෂණ හා ඉදිකිරීම් පෞද්ගලික සමාගම මගින් ශ්‍රම කොන්ත්‍රාත්තුවේ ගිවිසුම් කාලය දීර්ඝ නොකරනු ලැබූ බැවිනි.

(iv) 2015 වර්ෂයෙන් පසුව බඳවා ගන්නා ලද ස්ථිර කම්කරු සේවක සංඛ්‍යාව 716ක් වේ.

(v) මධ්‍යම සංස්කෘතික අරමුදල 2015.09.21වන දිනැති 1933/13 දරන අති විශේෂ ගැසට් පත්‍රය (ඇමුණුම 5) මගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයට ගැනුණු අතර, කම්කරු සේවක පිරිස එම අමාත්‍යාංශය මගින් බඳවා ගන්නා ලදී.

(ඇ) (i) තත්කාලීනව එවකට රේඛීය අමාත්‍යාංශය මගින් අදාළ සමාගම සමඟ ගිවිසුම්ගත කාලය දීර්ඝ නොකිරීමේ ප්‍රතිපත්තිමය තීරණ මිස දේශපාලන පළිගැනීමක් සම්බන්ධව එම ක්‍රියාවලිය තුළ අර්ථ ගම්‍යවීමක් නොමැත.

(ii) මෙම සේවකයන් මධ්‍යම සංස්කෘතික අරමුදලට බඳවා ගෙන නොමැත. සේවා අවශ්‍යතාව මත සීමාසහිත සංස්කෘතික සංරක්ෂණ ඉදිකිරීම් පෞද්ගලික සමාගම සමඟ ගිවිසුම්ගතව සේවා ලබා ගෙන ඇත.

(ඈ) මෙකී පිරිස මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථිර, අනියම් හෝ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් පිරිසක් නොවේ.

 

ගරු කථානායකතුමනි, ඇමුණුම් 1, 2, 3, 4 සහ 5 මම සභාගත* කරනවා.

 

පිළිතුරු දුන් දිනය

2021-07-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks