01

E   |     |  

 දිනය: 2020-11-20   පිළිතුර ලබා දී ඇත 

0728/2020: Heenganga Drinking water Irrigation project

728/2020 ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හීංගඟ පානීය ජල යෝජනා ක්‍රමයේ වැඩ ආරම්භ කරන ලද දිනය කවරේද; (ii) එම යෝජනා ක්‍රමයේ ගිවිසුම්ගත කොන්ත්‍රාත්කරු කවරේද; (iii) එම යෝජනා ක්‍රමය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද; (iv) ගිවිසුම් ප්‍රකාරව මෙම යෝජනා ක්‍රමයේ වැඩ අවසන් කළ යුතු දිනය කවරේද; (v) නියමිත දිනට මෙම යෝජනා ක්‍රමයේ වැඩ අවසන් කර තිබේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-20

අසන ලද්දේ

ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       2016.08.01

              (ii)       CML-MTD කන්ස්ට්‍රක්ෂන් (පුද්.) සමාගම සහ Hovael කන්ස්‍ට්‍රක්ෂන් (පුද්.) සමාගම සමඟ හවුල් ව්‍යාපාරය බලයලත් කොන්ත්‍රාත්කරු :  CML-MTD කන්ස්ට්‍රක්ෂන් (පුද්.) සමාගම.

             (iii)      රුපියල් මිලියන 3580.

             (iv)       2018.07.31

(v) නැත.

(ආ) පහත හේතු මත කාල දිගු  03ක් ලබා දී ඇති අතර, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2021.12.31 වන දිනට (මාස 03ක නඩත්තු හා ක්‍රියාත්මක කාලය ඇතුළුව) නිම කිරීමට නියමිතය.‍

(i) පළමුවන කාල දිගුව (2018.08.01 - 2019.02.18)

වනජීවි දෙපාර්තමේන්තුව මඟින් ඉඩම් අත්පත් කර ගැනීමේ දී සිදු වූ ප්‍රමාදය.

තුළුමුව සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අනුමැතිය ලබා ගැනීමට ප්‍රමාද වීම.

(ii) දෙවන කාල දිගුව (2019.02.19 - 2019.12.02)

දෙවන ප්‍රධාන සම්ප්‍රේෂණ නළ තොගය සඳහා අනුමැතිය ලබා දීමට ප්‍රමාද වීම.

දෙවන ප්‍රධාන සම්ප්‍රේෂණ ජල නළ ලබා දීමට අවශ්‍ය වුණේ, මිනිපේ ග්‍රාම නිලධාරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨ‍ාසයට අයත් වසම් 10ක සම්ප්‍රේෂණ නළ මාර්ගයේ සැපයුම් විෂය පථයට අතිරේකව ඇතුළත් කිරීමට සිදුවීම නිසායි.

පිරිපහදු ටැංකිය සහ විල්ගමුව ජල කුලුනේ කැණීම් කටයුතු සිදු කිරීමේදී සිදු වූ අනපේක්ෂිත භූගත තත්ත්වය හේතුවෙන් කොන්ත්‍රාත්කරුට පාංශු විමර්ශන නැවත සිදු කිරීමට තිබෙනවා.

ඒ අනුව, විදුලි හා යාන්ත්‍රික වැඩ කටයුතු ප්‍රමාද වී තිබෙනවා. 2018 අප්‍රේල් මස සිට කොන්ත්‍රාත්කාර සමාගම පත් වූ දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් පහත සඳහන් බලපෑම් ඇති වී තිබෙනවා.

* දේශීය හා විදේශීය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු ප්‍රමාද වීම.

* භාණ්ඩාගාර ඇපකරයේ ශේෂ කොටස් අනුමත කර ගැනීමේදී සිදු වූ ප්‍රමාදය  නිසා අන්තර් බිල්පත්- interim payment - ගෙවීමට ප්‍රමාද වීම.

* NDB බැංකුව වෙත ණය ආපසු ගෙවීමේදී සිදු වූ ප්‍රමාදය  නිසා interim payment ගෙවීම ප්‍රමාද වීම.

(iii) තෙවන කාල දිගුව (2019.12.03 - 2021.12.31)

2019 අප්‍රේල් 21 වන දින බෝම්බ පිපිරීම හේතුවෙන් මහජනතාවගේ ජීවන කටයුතු අඩාළ වීම නිසා වැඩ බිම වෙත කම්කරුවන් නොපැමිණීම හෝ පැමිණීම අඩු වීම.

2019 අප්‍රේල් මස 21 වන දින බෝම්බ පිපිරීම හේතුවෙන් නළ මාර්ගයේ කැණීම් කටයුතු සහ වෙනත් පිපුරුම් කටයුතු සඳහා පාෂාණ පිපුරුම් ද්‍රව්‍ය නිකුත් කිරීම අත් හිටුවීම.

2019 වර්ෂයේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාසවලදී පැවැති අයහපත් කාලගුණය නිසා බාධාවන් පැමිණීම.

කොවිඩ්-19 හේතුවෙන් ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ඉදිකිරීම් කටයුතු නතර කිරීමට සිදු වීම.

කොවිඩ්-19 වසංගතයෙන් පසුව නිකුත් කරන ලද ඉදිකිරීම් කටයුතු සඳහා නිර්දේශ නව සෞඛ්‍ය මාර්ගෝපදේශනය යටතේ ඉතිරි වැඩ කටයුතු කරගෙන යාමට සිදු වීම.

CML-MTD කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගමේ පවතින දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් විදේශීය ද්‍රව්‍ය මිලදී ගැනීම, ආනයනික ද්‍රව්‍ය රේගුවෙන් නිදහස් කර ගැනීම ප්‍රමාද වීම මේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම සඳහා හේතු වී තිබෙන බව මා ඔබතුමාට දැන්විය යුතුයි.

 

පිළිතුරු දුන් දිනය

2020-12-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks