01

E   |     |  

 දිනය: 2021-05-21   පිළිතුර ලබා දී ඇත 

0725/2021: මී උණ රෝගයෙන් සිදු වූ මරණ: විස්තර

----

අසන ලද දිනය

2021-05-21

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)      2019 වර්ෂයේ මී උණ රෝගයෙන් මියගිය රෝගීන් සංඛ්‍යාව සියයකි.

‍                        2020 වර්ෂයේ මී උණ රෝගයෙන් මියගිය රෝගීන් සංඛ්‍යාව එකසිය හතරකි.

              (ii)      මී උණ රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා රෝග ආවේක්ෂණය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා ප්‍රජාව දැනුවත් කිරීම සහ ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාරය ලබාදීම යන මාතෘකා යට‍තේ ගෙන ඇති ක්‍රියාමාර්ග පහත පරිදි වේ.

රෝග ආවේක්ෂණය

  • ලෙප්ටොස්පයිරෝසිස් රෝගය බවට සැක කරන සෑම රෝගියෙකුගේම තොරතුරු එම රෝගියා පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත දැනුම් දෙන අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් එම රෝගියාගේ නිවසට ගොස් එම රෝගියාට මෙම රෝගය වැලඳීමට හේතු වූ සාධක සොයා බලන අතර, ඒ අනුව එම නිවසේ හෝ එම රෝගියා ඇසුරු කළ අය අතර හෝ සමාන රෝග ලක්ෂණ සහිත තවත් අය සිටීදැයි විමසා බලා ඒ අය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබේ.
  • රෝගය වැලඳීමට ඇති අවදානම් සාධක හඳුනාගෙන ඒවා අවම කිරීමට අවශ්‍ය උපදෙස් හා රෝගයෙන් වැළකීම සඳහා ගතයුතු වෙනත් ක්‍රියා මාර්ග පිළිබඳව නිවැසියන් ‍සහ සෙසු අය දැනුවත් කිරීම සිදු කරනු ලැබේ.
  • ලෙප්ටොස්පයිරෝසිස් රෝගය පිළිබඳ දත්ත විශ‍්ලේෂණය කිරීම මඟින් එම රෝගය පැතිරීමේ වැඩි අවදානමක් සහිත ප්‍රදේශ හඳුනා ගන්නා අතර, එම අවදානම පිළිබඳ වැඩිදුර අධ්‍යයනය මඟින් රෝග පාලනය සඳහා අවශ්‍ය ක්ෂණික පියවර ගනු ලැබේ.

රෝගය පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා ප්‍රජාව දැනුවත් කිරීම

  • රෝගය පිළිබඳව සහ රෝගය වැලඳීමෙන් වැළකීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කරනු ලැබේ.
  • සෑම වගා කන්නයක් ආරම්භයට සමගාමීව විද්‍යුත් මාධ්‍ය හරහා දැන්වීම් සහ වාර්තාමය වැඩසටහන් මඟින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබේ.
  • රෝගය බහුලව ව්‍යාප්ත වී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල ගොවි සමිති, කෘෂිකර්ම සහ පශු නිලධාරින් ඇතුළු ව්‍යාප්තිය පාලනයට දායක වන නිලධාරින් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය වැඩමුළු පැවැත්වීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් වාර්ෂිකව ලබා දෙනු ලැබේ.
  • රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ රෝගී සත්කාරක රෝහල් වෙත ලබා දී ඇත.

රෝගය වැලඳීම වැළැක්වීම සඳහා ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාරය

  • රෝගය වැලඳීමට අවදානමක් ඇති ක්‍රියාකාරකම්වල යෙදී සිටින,  විශේෂයෙන් ම ජලය සහිත පරිසරයක (උදා: කුඹුරු වැඩ) කටයුතු කරන පුද්ගලයන් විසින් ඩොක්සිසයික්ලින් - doxycycline - නමැති ප්‍රතිජීවක ඖෂධය සතිපතා ගැනීම මඟින් රෝගය වැලඳීම වළක්වා ගත හැකි අතර, සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ රෝහල් සඳහා අවශ්‍ය තරම් ප්‍රතිජීවක ඖෂධ දිස්ත්‍රික් බෙහෙත් ගබඩා හරහා නිකුත් කරනු ලැබේ. මෙම ඖෂධය බෙදා හැරීම පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය විසින් නිරන්තරව පසු විපරම් කරනු ලැබේ.
  • මෙම ඖෂධ ගොවීන්ගේ නිවසටම ගොස් ලබා දීමේ වැඩ පිළිවෙළක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා ක්‍රියාත්මක කොට ඇත.
  • මෙම ඖෂධ ලබා දීමේ ක්‍රියාවලිය සහ ලබාගත් පුද්ගලයන් පිළිබඳ පසු විපරම් කිරීම ද සිදු කරනු ලැබේ.
  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මඟින් මෙම ඖෂධය අඛණ්ඩව සැපයීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-09-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks