01

E   |     |  

 දිනය: 2021-01-08   පිළිතුර ලබා දී ඇත 

0606/2021: විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීම: ක්‍රමවේදය

606/2020

ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2019.04.08 දින පළ කරන ලද දැන්වීම, 2019 වර්ෂයේදී අ.පො.ස. (උ/පෙළ) විභාගයට (නව සහ පැරණි විෂය නිර්දේශ යටතේ) පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ පදනම වන්නේද;

(ii) ඉහත දැන්වීමෙහි දක්වා ඇති විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන ක්‍රමවේදයේ වෙනසක් සිදු කරන්නේද; 

(iii) එසේ නම්, එම වෙනස්කම් සිදු කිරීම සාධාරණීකරණය කරන්නෙ කෙසේද;

(iv) එම වෙනස්කම් සඳහා ඉඩ සලසා දෙන ආකාරය කවරේද;

(v) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පැරණි සහ නව විෂය නිර්දේශය යටතේ විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන ශිෂ්‍යයන් සංඛ්‍යාව තීරණය කිරීමේදී අදාළ කර ගන්නා ක්‍රමවේදය සහ එය යොදා ගනු ලබන ආකාරයද ඇතුළුව විශ්වවිද්‍යාලවල‍ට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ සියලු විස්තර ප්‍රසිද්ධ කරන්නේද; 

(vi) මෙම විස්තර ප්‍රසිද්ධ නොකරන්නේ මන්ද?

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-01-08

අසන ලද්දේ

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      2019 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නව සහ පැරැණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තෝරාගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ලද නිපුණතා කමිටුවේ සහ ප්‍රවේශ කමිටුවේ නිර්දේශ මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබූ බඳවාගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනඟී.

ඒ මන්ද යත්, 2019 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නව සහ පැරැණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට තෝරාගැනීම සඳහා භාවිත කරන ලද එම ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් නව නිර්දේශය යටතේ එම විභාගයට පෙනී සිටි සිසුන් කණ්ඩායම් කිහිපයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරාගැනීමේදී තමන්ට අසාධාරණයක් සිදු වූයේ යැයි පවසමින් මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ගොනු කරන ලදී. එම නඩුවල සියලු පාර්ශ්වකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කරුණුවලට සවන්දීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු තවත් ඉදිරියට ගෙන යෑමට සුදුසු නඩු කටයුතු ලෙස නොසලකමින් එම නඩු නිෂ්ප්‍රභ කිරීමට තීරණය කරන ලදී.

දැනට ප්‍රසිද්ධ කර ඇති එම ක්‍රමවේදයට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2019 අ.පො.ස. (උසස් පෙළ)  විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශ කටයුතු සිදු කරන ලදී.

ගරු කථානායකතුමනි, 2012දී නඩු තීන්දුවක් තිබුණා. අග්‍රවිනිශ්චයකාරතුමිය හා තව විනිශ්චයකාරවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මඩුල්ලකින් දුන් නඩු තීන්දුවක් තිබුණා. ඒ විතරක් නොවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දුන්නා ඒ නඩු තීන්දුව ක්‍රියාත්මක කරන පිළිවෙළ සම්බන්ධව. ඒක විශේෂ ලක්ෂණයක්. සමාන්‍යයෙන් නඩුවක එහෙම වෙන්නේ නැහැ. හැබැයි, ඒ නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනුත් විස්තර සහිතව නියෝග දීලා තිබෙනවා.

(iii) ගරු ශ්‍රේෂ්ඨාධිකර‍ණයේ තීරණය -නියෝගය- නිසා වෙනස් කිරීමක් සිදු නොවන බැවින් අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v) ක්‍රමවේදය සම්බන්ධයෙන් විස්තර මම ඉදිරිපත් කරනවා. එහි සම්පූර්ණ විනිවිදභාවය තිබෙනවා.

ඔව්. 2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා නව සහ පැරණි නිර්දේශ යටතේ සිසුන් පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දෙන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩු අංක 29/2012හි නියෝගවලට අනුව සහ පත් කරන ලද නිපුණතා කමිටුවේ සහ ප්‍රවේශ කමිටුවේ නිර්දේශ මත 2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා නව සහ පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා එකිනෙකට වෙනස් කණ්ඩායම් දෙකක් ලෙස සලකා කටයුතු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී. ඒ අනුව, 2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා නව සහ පැරණි විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් සඳහා වෙන වෙනම Z ලකුණු නිකුත් කරන ලෙස විභාග කොමසාරිස්වරයාට දැනුම් දෙන ලදී.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            

2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාග ප්‍රතිඵල මත නව සහ පැරණි විෂයය නිර්දේශ දෙක යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරා ගනු ලබන සිසුන් ප්‍රමාණය  දිස්ත්‍රික් කුසලතා පදනම මත සෑම දිස්ත්‍රික්කයකින්ම සහ දීප ව්‍යාප්ත කුසලතා පදනම මත ගණනය කිරීම සඳහා පහත ක්‍රමවේදය අනුගමනය කිරීමට තීරණය කරන ලදී.

2013 වසරේ සිට 2017 වසර දක්වා වූ පස් අවුරුදු කාල සීමාව තුළදී අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට එක් එක් පාඨමාලාවලට තේරී පත් වූ සිසුන්ගේ ප්‍රතිශතය  ගණනය කර, එම ප්‍රතිශතවල සංයුත මධ්‍යකය - Composite Average - 2019 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නව නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් එක් එක් පාඨමාලාවලට තෝරා ගැනීම සඳහා භාවිත කරන ලදී.

ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක්. ඒ Composite Average කියන මිනුම් දණ්ඩ පාවිච්චි කරන්නය කියන එක තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.

2013 වසරේ සිට 2017 වසර දක්වා වූ පස් අවුරුදු කාල සීමාව තුළදී අ.පො.ස. (උසස් පෙළ) විභාගයට දෙවන සහ තුන්වන වරට පෙනී සිට එක් එක් පාඨමාලාවලට තේරී පත් වූ සිසුන්ගේ ප්‍රතිශතය ගණනය කර, එම ප්‍රතිශතවල සංයුත මධ්‍යකය - Composite Average - 2019 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පැරණි නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් එක් එක් පාඨමාලාවලට තෝරා ගැනීම සඳහා භාවිත කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩු අංක 29/2012හි නියෝගවලට ප්‍රකාරව එසේ 2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා නව සහ පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට තෝරා ගනු ලබන ක්‍රමවේදය පිළිබඳව පුවත් පත් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවිය මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පූර්ව දැනුම් දීම් සිදු කර ඇත.

      (vi) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-01-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks