01

E   |     |  

 දිනය: 2021-05-04   පිළිතුර ලබා දී ඇත 

0443/2021: ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය: මූල්‍ය අර්බුදය

----

අසන ලද දිනය

2021-05-04

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පසුගිය වසර 08 තිස්සේ කරන ලද නාස්තිකාර වියදම් හා කාර්යාංශයේ මූල්‍ය පරිපාලනයේ තිබූ දුර්වලතා සහ අක්‍රමිකතා හේතුවෙන් කාර්යාංශය සතු විශාල මුදල් ප්‍රමාණයක් අවභාවිත වී ඇති බවද, අවභාවිත වූ මෙම මුදල් අයකර ගැනීම මෙන්ම ඊට සම්බන්ධ වූ වරදකරුවන්ට එරෙහිව නිසි ක්‍රියා මාර්ග හා දඬුවම් පැමිණවීමට පියවර ගන්නා ලෙසද විගණකාධිපතිවරයා විසින් අවස්ථා ගණනාවකදී කාර්යාංශය වෙත උපදෙස් දී ඇත. එහෙත්, ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම ඉතා මන්දගාමී ස්වරූපයෙන් සිදු වී ඇති අතර මෙම කාර්යාංශයේ සභාපතිවරයා වශයෙන් සේවය කර මෑතකදී මිය ගිය කමල් රත්වත්තේ මැතිතුමා විසින් බලපත්‍රලාභින් හා උප ඒජන්තවරුන් ඇතුළු කාර්යාංශයේ නිලධාරින් එක්ව සිදු කරනු ලැබූ සහ සිදු කරනු ලබන වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා වෙත ලිපියකින් පැමිණිලි කර ඇත.

සභාපතිවරයා තවදුරටත් එම ලිපියෙන් පවසා ඇත්තේ කාර්යාංශය වසර ගණනාවකට පෙර මූල්‍යමය වශයෙන් ඉතා ස්ථාවර තත්ත්වයක පැවතියද පසුගිය වසර කිහිපයක සිට වංචාව හා දූෂණය ඉතා වේගයෙන් ආයතනය තුළ පැතිරී ඇති බවත්, තම සේවා කාලය තුළ නොයෙකුත් මාර්ගවලින් මෙම දූෂණ හා වංචා නතර කිරීමට/ සීමා කිරීමට උත්සාහ දැරුව ද කාර්යාංශය තුළ ඇතැම් බලපත්‍රලාභින් හා විශේෂයෙන් උප ඒජන්තවරුන් මාර්ගයෙන් මෙම දූෂණ ඉතා දැඩිව සිදුවන බවයි. ඒ අනුව එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට නිලධාරි කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුවේ වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත අතිගරු ජනාධිපතිතුමන් වෙත භාර දීමට නියමිතය.

තවද, බලපත්‍රලාභි ඒජන්සිකරුවන් වෙත කාර්යාංශය විසින් ඔවුනට හිමි නොවන මුදල් ප්‍රතිපූරණය කිරීම, ඒජන්සිකරුවන්ගෙන් අය විය යුතු සියයට පහක කොමිස් මුදල් නිසි අයුරින් අයකර ගැනීමට පියවර නොගැනීම මෙන්ම කාර්යාංශය විසින් කලින් කලට අනුගමනය කරනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් කාර්යාංශයේ මුදල් හිතුමතේ වැය කිරීම හා ව්‍යාජ ලෙස විවිධ ක්‍රියාකාරකම් සිදු කළ බව ප්‍රකාශ කරමින් විශාල මුදලක් කාර්යාංශයෙන් අයථා ලෙස ලබා ගනිමින් කරන ලද වංචාකාරී ක්‍රියා තුළින්ද කාර්යාංශයේ මූල්‍ය අර්බුදය උග්‍ර අතට පත් වී ඇත.

මෙම මූල්‍ය අර්බුදය තීව්‍ර වීමට බලපෑ තවත් සාධකයක් වූයේ විදේශ දූත මණ්ඩලයන්හි ස්ථාපිත කර ඇති කම්කරු අංශයන්හි සේවය සඳහා කාර්යාංශයේ නිලධාරින්, දේශපාලන හිතවත්කම් මත පරිබාහිරින් බඳවා ගත් සේවකයින් හා හිතමිත්‍රාදින් මෙම දූත මණ්ඩල තනතුරු සඳහා පත් කිරීමයි. මෙලෙස පත් කරනු ලැබූ බොහොමයක් නිලධාරින්හට අදාළ රටෙහි මව් බස හැසිරවීමට නොහැකි වීම, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසළ දැනුමක් නොමැති වීම, විගමනික ශ්‍රමිකයින්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා හාම්පුතුන් සමඟ සම්මුති සාකච්ඡා පැවැත්වීම හා කේවල් කිරීම ආදී පැවරී ඇති රාජකාරි ඉලක්කගත ප්‍රමිතීන්ට අනුකූලව ඉටු කිරීමට හැකියාවක් නොමැති වීම, භාෂා පරිවර්තකයින් මත යැපීමට සිදුවීම සහ විවිධ දූෂණ හා වංචාවලට ඔවුන් ඍජුව සම්බන්ධ වීම හේතුවෙන් විදෙස්ගත ශ්‍රමිකයන්හට නිසි සේවා සැපයීමට ඔවුන් අපොහොසත්වීම මත මහජන විරෝධය පවා එල්ල වී ඇති අතර මෙම දූත මණ්ඩල සේවාවන් නඩත්තු කිරීමට වාර්ෂිකව රුපියල් මිලියන 912කට අධික මුදලක් දැරීම තුළින්ද කාර්යාංශයේ මූල්‍ය අර්බුදය තවදුරටත් වර්ධනය වී ඇති බව මෙම සභාවට ප්‍රකාශ කරනුයේ ඉතාම කනගාටුවෙනි.

මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරු එතුමාගේ අනුදැනුම මත මා විසින් විවිධ දේශපාලන හිතවත්කම් මත පත් කෙරුණු රාජකාරි නිසි අයුරින් ඉටු කිරීමට හැකියාවක් නොවූ නිලධාරින් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලද අතර, කොවිඩ් - 19 වසංගත තත්ත්වය පැවති අවධියේදී මෙම දූත මණ්ඩලයන්හි සේවය කළ නිලධාරින් මෙසේ කැඳවීම මඟින් විදේශ ශ්‍රමිකයන්ට සපයනු ලැබූ සේවාවන් බිඳ වැටීමකට ලක් වී ඇති බවට බොරු චෝදනා කරමින් මවා පෑම් සිදු කළද, අදාළ සේවාවන් අඛණ්ඩව හා ප්‍රශස්ථව පවත්වා ගනිමින් අනර්ථකාරී ලෙස දරන ලද වියදම් කළමනාකරණය කර ගැනීම තුළින් කාර්යාංශයට 2020 වර්ෂයේදී රුපියල් මිලියන 230කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකි විය.

විගණකාධිපතිවරයා ඔහුගේ වාර්තාවෙන් දක්වා ඇති පරිදි කාර්යාංශය මෙලෙස දැඩි මූල්‍ය අර්බුදයක් පැවති අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ හෝ රේඛීය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව කාර්යාංශය පනතේ විධිවිධාන සහ නිකුත් කර ඇති විවිධ චක්‍රලේඛවලටද පටහැනි ලෙස නීති විරෝධී ආකාරයෙන් කාර්යාංශයේ අධ්‍යක්ෂ මණඩලයේ එක් අධ්‍යක්ෂවරයෙක් ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස නම් කර ඇත. මෙම ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා 2020 පෙබරවාරි 11 දින සිට වැඩබලන සභාපති ලෙසද, 2020 මාර්තු 02 දින උප සභාපති ලෙසද කාර්යාංශයේ විවිධ තනතුරුවලට පත් කර ඇත. එසේම, කාර්යාංශය පනතේ හෝ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියට අනුව කාර්යාංශය සඳහා මෙවැනි පත් කිරීම් සිදු කිරීමට ප්‍රතිපාදන සලසා නොමැති අතර සම්මුඛ පරීක්ෂණ හා බඳවා ගැනීම් සුදුසුකම් පරීක්ෂාවක්ද රහිතව මෙම පත් කිරීම සිදු කර ඇති බව පෙන්වා දී ඇත. එසේම, මෙම නිලධාරියාහට රුපියල් 75,000ක මාසික දීමනාවක්, ඉන්ධන/ රියැදුරු සහිත වාහනයක්, කාර්ය මණ්ඩල, ජංගම දුකරථන බිල්පත් ප්‍රතිපූරණය කිරීම යන පහසුකම් ලබා දී ඇත.

2021 ජනවාරි වනවිට මෙම නිලධාරියා වෙනුවෙන් කාර්යාංශය විසින් දරා ඇති වියදම් පහත පරිදි වේ.

2020 මාර්තු සිට අගෝස්තු දක්වා වැටුප  - රු. 447,475

දුරකථන බිල්පත් ප්‍රතිපූරණය   - රු.   38,241

භාවිත කළ රථ වාහන සඳහා වැය වූ

ඉන්ධන වියදම - රු. 722,829

------------------------

       රු. 1,208,545

------------------------

එසේම, මෙම නිලධාරියා 2020 පෙබරවාරි 23 දින සිට 28 දින දක්වා ඊශ්‍රායලය වෙත ගොස් ඇති අතර ඒ සඳහා කාර්යාංශයේ රුපියල් 450,197ක වියදමක් දරා ඇති බවද විගණකාධිපති වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දී ඇත. මෙවැනි පරිපාලන දුර්වලතා හේතුවෙන්ද කාර්යාංශයේ මූල්‍ය අර්බුදය උග්‍ර වී ඇත. මේ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිසි පියවර ගනු ඇතැයි මම විශ්වාස කරමි.

තවද, වාර්ෂිකව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 200,000ක පමණ පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව යනු ලබන අතර, කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ 2020/2021 කාලය ඇතුළත එම සංඛ්‍යාව 35,000 දක්වා අඩු වීම හේතුවෙන් කාර්යාංශයේ ආදායම ශීඝ්‍රයෙන් පහත වැටීම මෙම මූල්‍ය අර්බුදයට ප්‍රබලව බලපා ඇත. එසේම, කාර්යාංශය පනතේ 51 වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව ශ්‍රමිකයන් විදේශගත වීමේදී අය කරන රුපියල් 17,500ක ලියා පදිංචි ගාස්තුව කාර්යාංශයේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත. තවද, පොලී අනුපාතය සියයට 12 සිට සියයට 5.6 තරම් අඩු මට්ටමකට පහත වැටීම හේතුවෙන් කාර්යාංශය විසින් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කිරීමෙන් උපයා ගත් පොලී ආදායම අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අහිමි වීම තුළ මෙම අර්බුදය තවදුරටත් තීව්‍ර වී ඇත.

(ii) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූල්‍ය අර්බුදය කළමනාකරණය කිරීම යන මැයෙන් වූ අංක 43/2020 හා 2020.08.18 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අදාළව අංක අමප/20/1190/307/002 හා 2020.08.26 දිනැතිව ලබා දී ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත.

වි‍දේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනර්ථකාරී වියදම් කපා හැරීම හා වියදම් කළමනාකරණය කර ගැනීම.

නැවත දැනුම්දෙන තුරු කාර්යාංශයේ කිසිදු තනතුරකට නව බඳවා ගැනීම් සිදු නොකිරීමට වග බලා ගැනීම.

වියදම් කළමනාකරණය කර ගැනීමේ එක් පියවරක් ලෙස දැනට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ දූත මණ්ඩල සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි මට්ටමකට කාර්ය මණ්ඩලය සීමා කර අතිරික්ත කාර්ය මණ්ඩලය නැවත දිවයිනට ගෙන්වා ගැනීම සහ විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී එකඟ වූ පරිදි තෝරා ගත් වැඩ කොටස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන්හි අනෙකුත් කාර්ය මණ්ඩල වෙතින් ඉටු කරවා ගැනීම.

අතිගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම පරිදි විදේශ දූත මණ්ඩලයන්හි ස්ථාපිත කර ඇති කම්කරු සුබසාධන අංශයන්හි රාජකාරි ඉටු කිරීමට රාජ්‍ය සේවයේ උගත්, බුද්ධිමත් හා කාර්යක්ෂම කණ්ඩායමක් බඳවා ගැනීම සඳහා ස්ථීර ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව මුදල් අමාත්‍යාංශය යටතේ වූ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ නිලධාරි කමිටුවක් පත් කර ඇත. මෙම කමිටුව මඟින් සකස් කරනු ලබන නිර්ණායක අනුව ඉදිරියේදී මෙම සේවා සඳහා කාර්යාංශ නිලධාරින් හා රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින් අතුරින් නිලධාරින් බඳවා ගැනීම තුළින් කාර්යාංශය විසින් ලබා දෙන සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම ශක්තිමත් කිරීමට සහ එතුළින් කාර්යාංශයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වේ.

කාර්යාංශය මඟින් කුලියට ලබාගත් ගොඩනැඟිලිවල පවත්වාගෙන යනු ලබන තෝරාගත් ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන හා කාර්යාල රජයේ ගොඩනැඟිලිවලට හෝ අඩු වියදම් විකල්ප ස්ථානවලට ගෙන යාම.

කාර්යාංශය සතු ගොඩනැඟිලි හා දේපළ ප්‍රශස්ත ලෙස උපයෝගී කර ගැනීම තුළින් අතිරේක ආදායම් උපයා ගැනීමට කටයුතු කිරීම.

කාර්යාංශයේ සේවක වැටුප් හා අත්‍යවශ්‍ය සේවා සඳහා ගෙවීම් කිරීම සහතික කර ගනිමින් සෙසු වියදම් අවම කර ගැනීම.

ඒ අනුව, 2019 වර්ෂයේ රුපියල් මිලියන 3,169ක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වියදම 2020 වර්ෂය අවසානය වන විට රුපියල් මිලියන 2,411ක් දක්වා අවම කර ගැනීමට හැකි වූ අතර, එම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් රුපියල් මිලියන 758ක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව මෙම සභාවට සතුටින් දන්වනු කැමැත්තෙමි.

තවදුරටත්, වියදම් කළමනාකරණය කර ගැනීමේ දැඩි අවශ්‍යතාව පිළිබඳ කාර්යාංශයේ ඉහළ කළමනාකරණය වෙත උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දී ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks