01

E   |     |  

 දිනය: 2020-10-23   පිළිතුර ලබා දී ඇත 

0348/2020: ලංකාගම මාර්ගය ඉදිකිරීම: පරිසර අධ්‍යයනය

348/2020 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) නීතිමය තත්ත්වය කෙසේ වුවත්, සංවේදී පරිසර පද්ධතියක මාර්ගයක් ඉදිකරන විට ඒ සඳහා පරිසර බලපෑම් අධ්‍යයනයක් සිදු කළ යුතු බව පරිසරවේදීන් ඇතුළු බහුතර ජනතාවගේ අදහස බැවින් එවැනි අධ්‍යයනයක් සිදු කළ යුතු බව එතුමා පිළිගන්නෙහිද? (ආ) (i) එසේ නම්, සංවේදී පරිසර පද්ධතියක් හා ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය හරහා ලංකාගම නමැති ග්‍රාමය වෙත පාරක් කැපීම සඳහා එවැනි අධ්‍යයනයක් සිදු කර තිබේද; (ii) ‍නොඑසේ නම්, එවැනි අධ්‍යයනයක් සිදු කිරීමට ‍අපේක්ෂා කරන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) ඉහත (අ)හි සඳහන් අදහස පිළිනොගන්නේ නම්, එයට හේතුව කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-23

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට 1988 අංක 57 දරන සංශෝධනය මඟින් පාරිසරික බලපෑම් ඇගයීම් හඳුන්වා දී ඇති අතර, ඒ යටතේ නිකුත් කරන ලද 1993.06.24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයේත්, 1995.02.23 දින අංක 859/14 දරන ගැසට් නිවේදනයේත්, 1999.11.05 දින අංක 1104/22 දරන ගැසට් නිවේදනයේත් සහ 1999.11.29 දින අංක 1108/1 දරන ගැසට් නිවේදනයේත් ලැයිස්තුගත කර ඇති ක්‍රියාකාරකම් සඳහා පාරිසරික බලපෑම් අධ්‍යයනයක් සිදු කළ යුතුය.

(ආ) (i) නැත. මීට අදාළව පරිසර බලපෑම් ඇගයීම් යෝජනාවක් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් වී නොමැත.

(ii) ‍මෙම මාර්ගය අලුතින් ඉදිකිරීමක් නොවන අතර, පවත්නා මාර්ගයක් වැඩිදියුණු කිරීමක් පමණක් වන බවත්, සිංහරාජ වනාන්තරය හරහා මීටර් 1,035ක ප්‍රමාණයක් ස්ථාන තුනකින් වනාන්තරය තුළින් ගමන් කරන අතර, එම ස්ථානවලදී මාර්ගය කිසිදු පුළුල් කිරීමක් හෝ ගස් ඉවත් කිරීමක් නොමැති බැවින් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර නොමැති බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇත.

(ඇ) ඉහත (අ) (i) අනුව අදාළ නොවේ.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-01-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks