01

E   |     |  

 දිනය: 2021-05-04   පිළිතුර ලබා දී ඇත 

0081/2021: ජල මූලාශ්‍ර අපවිත්‍රවීම: වැළැක්වීම

----

අසන ලද දිනය

2021-05-04

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

           ජල සම්පත ක්ෂයවීම, අපිරිසිදු වීම හා භාවිතයට ගත නොහැකි පරිදි දූෂණය වීම මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රධාන ගැටලුවකි.

           නාගරීකරණය, කර්මාන්ත බහුලවීම, මල අපද්‍රව්‍ය, කැළි කසළ අවිධිමත් ලෙස ජලයට බැහැර කිරීම, අවිධිමත් වැලි කැණීම්, ගං ඉවුරු හා ජල මූලාශ්‍ර ආශ්‍රිත අනවසර ඉදිකිරීම්, කඩොලාන විනාශ කිරීම් ආදිය හේතුවෙන් ප්‍රබල ජල දූෂණයක් නිරීක්ෂණය කළ හැකිය.

           මීට අමතරව ග්‍රාමීය ප්‍රදේශවල කෘෂි කර්මාන්ත කටයුතු සඳහා අවිධිමත් ලෙස පොහොර, පළිබෝධ නාශක, කෘමිනාශක ආදිය භාවිතය, එම රසායනික ද්‍රව්‍ය අඩංගු භාජන හා ඇසුරුම් ජල මූලාශ්‍රවලට බැහැර කිරීම, විධිමත් වැසිකිළි පහසුකම් නොමැතිවීම, ‍කඩොලාන, ගං ඉවුරු රක්ෂිත ශාක විනාශ කිරීම හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශ හා ජල මාර්ග දූෂණය ප්‍රධාන ලෙස සිදු වේ.

තවද, සංවර්ධන කටයුතුවලදී මෙන්ම වගා කටයුතුවලදී කඳුකර ප්‍රදේශවල වන වැස්ම ඉවත්වීම නිසා පාංශු ඛාදනය සිදු වී ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සිදුවේ.

(ආ) (i) ශ්‍රී ලංකාවේ ගංගා, වැව් හා අනෙකුත් ජල මූලාශ්‍ර සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල ආදී ආයතන බොහොමයක් ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර හා ජල දූෂණය සම්බන්ධව සමීක්ෂණ / අධ්‍යයනයන් සිදුකර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.

 (ii) මේ සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණවලදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු හේතුවෙන් ජල මූලාශ, ජලාශ දූෂණය සිදු වන බවට කරුණු අනාවරණය වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.

1. අවිධිමත් ලෙස ගෘහාශ්‍රිත කැළි කසළ, මල අපද්‍රව්‍ය ජලාශවලට එක් කිරීම.

2. ජලාශ ඉවුරු සංරක්ෂණය සඳහා විධිමත් වැඩ පිළිවෙළක් නොමැතිවීම හා ඒ ආශ්‍රිතව අනවසර ඉදිකිරීම්, කඩොලාන, ශාක වර්ග කපා ඉවත් කිරීම.

3. කර්මාන්තවලින් බැහැරලන අපජලය, අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම.

4. වැලි, මැණික් ආදිය විශාල ලෙස ලබා ගැනීම.

5. අනවසර ජලාශ, ගං ඉවුරු ගොඩ කිරීම.

6. ගංගා ඉවුරු ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රමවත් ඉඩම් පරිහරණ රටාවක් නොමැති වීම.‍

7. ජලාශ, ජල මූලාශ්‍ර සංරක්ෂණයේදී ආයතන අතර ක්‍රමවත් සම්බන්ධතාවක් නොමැතිවීම සහ පවතින නීති රීති ශක්තිමත් නොමැති වීම.

(iii) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ජලය ලබා ගන්නා ජල පොම්පාගාර ආශ්‍රිතව පවතින රසායනාගාර වෙතින් ජල තත්ත්වය විශ්ලේෂණය කිරීමෙන් පසු ජලය පිරිපහදු කිරීම සඳහා ජල පිරිපහදු පද්ධති ස්ථාපනය කර ඇත.

  • ජාතික පාරිසරික පනතට අනුව ජලයේ තත්ත්වය පවත්වා ගැනීම සහ කර්මාන්තවලින් වන ජල දූෂණය වළක්වා ගැනීම සඳහා නීති රෙගුලාසි පැනවීම සිදු කෙරේ. උදා: අංක 1534/18 දරන 2008.02.01 දිනැති ගැසට් නිවේදනය මඟින් කර්මාන්තවලින් බැහැරලන අපජලය සඳහා ප්‍රමිති හා උපමාන ප්‍රකාශයට පත්කර ඇත.
  • අංක 2148/20 දරන 2019.11.05 දිනැති ගැසට් නිවේදනය මඟින් සංසරණ ජල තත්ත්වයන් සඳහා ප්‍රමිති හා උපමාන ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව තම බල ප්‍රදේශයට අයත් ගංගා ජලය සුදුසු තත්ත්වයෙන් පවත්වාගෙන යෑම සඳහා පළාත් පාලන ආයතන සමඟ කටයුතු කිරීමට යෝජනා වී ඇත.
  • "සුරකිමු ගංගා" ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රධාන ගංගාවල ජලය සංරක්ෂණය සඳහා බහුපාර්ශ්වීයකරුවන්ගේ සහයෝගිතාවෙන් විවිධ ක්‍රමෝපායයන් සැලසුම් කර ඇත.

(iv) ජල මූලාශ්‍ර/ජලාශ අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ගෙන ඇති පියවර  පහත පරිදි වේ.

නීතිමය පියවර :-

• ජාතික පාරිසරික පනත යටතේ පාරිසරික  ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය  - EPL - හා පාරිසරික  බලපෑම්  ඇගයීම් ක්‍රියාවලිය - EIA - මඟින් ජල මූලාශ්‍ර  වෙත  අපද්‍රව්‍ය බැහැර කිරීම හා ඒ අවට පරිසර පද්ධතීන්  සුරැකීම ප්‍රධාන  ලෙස සිදු වේ.

• 1533/16 දරන 2008.01.25 දිනැති  සහ 1534/18 දරන 2008.02.01 දිනැති ගැසට් නිවේදන මඟින් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම සහ කර්මාන්ත මඟින් බාහිර පරිසරයට  බැහැරලන  අපජලය  නිසි ප්‍රමිතියට අනුව බැහැරලීමට අවසර  ලබාදෙන අතර,  ඒ අනුව  පරිසර  ආරක්ෂණ බලපත්‍ර  නිකුත් කිරීම  හා ඒවා පසුවිපරම් කර බලපත්‍ර කොන්දේසි  කඩ කරන්නන්ට එරෙහිව  නීතිමය පියවර ගැනීම සිදු කරයි.

• අංක 772/22 දරන ගැසට් පත්‍රය මඟින්  නියමිත ව්‍යාපෘති  සඳහා පරිසර බලපෑම් ඇගයීම්  ක්‍රමවේදය  අනුගමනය කර  එම ව්‍යාපෘති  මඟින් ජලාශ/ජල පෝෂක  හා ඒ  අවට රක්ෂිත කලාපවලට හා සංවේදී පරිසර පද්ධතිවලට  සිදුවිය හැකි  හානිය  අවම කිරීම සිදු වේ.

• පාරිසරික ආරක්ෂණ  ප්‍රදේශ  ගැසට් මඟින්  ප්‍රකාශ කර එම සංවේදී පරිසර  පද්ධතිවලට මානව ක්‍රියාකාරකම්වලින් සිදුවිය හැකි  බලපෑම්  අවම කිරීමට පියවර ගෙන ඇත. එමඟින්  ජල මූලාශ්‍රවල පැවැත්ම තහවුරු කර ඇත.

අනෙකුත් පියවර :-

• "සුරකිමු ගංගා" වැඩසටහන මඟින් අමාත්‍යාංශ මට්ටමේ සිට ප්‍රාදේශීය  ක්‍රියාකාරී  මට්ටම දක්වා නිලධාරින් සහ මහජන සහභාගිත්වයෙන් ජල සම්පත සුරැකීමට කටයුතු සිදු කරමින් පවතී.

• ගලිබවුසර් මඟින්  ප්‍රවාහනය කරනු ලබන  කාර්මික  අපජලය  ගංගාවලට  හා  අනෙකුත් ජල මූලාශ්‍රවලට  බැහැරලීම   පාලනය කිරීම සඳහා  ගලිබවුසර්  සේවාවන්  මධ්‍යම පරිසර  අධිකාරියේ  ලියාපදිංචි  කිරීම ආරම්භ කර ඇත.

• ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන සමඟ සම්බන්ධ වී ජල සම්පත සුරැකීමට කටයුතු කිරීම සහ මහජනතාව සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සිදු කරනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks