01

E   |     |  

 දිනය: 2021-01-07   පිළිතුර ලබා දී ඇත 

0024/2021: පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්: වන්දි සහ ප්‍රදාන

24/2020

ගරු හේෂා විතානගේ මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2019 වර්ෂයේදී සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් —

                (i)      මියගිය අයගේ නම් හා ලිපිනයන්  කවරේද;

             (ii)      තුවාල ලැබූ  අයගේ නම් හා ලිපිනයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙම ප්‍රහාරයෙන් තුවාල ලත් සහ දිගු කාලීන ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන තිබේද;

(ii) එසේ හඳුනාගත් පුද්ගලයන්ට ලබාදෙන වෛද්‍ය හා අනෙකුත් ආධාර කවරේද;

(iii) මෙම ප්‍රහාරය හේතුවෙන් පූර්ණ වශයෙන් ආබාධවලට ලක්වූවන්ට විශේෂ ආධාර වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේද;

(iv) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම ප්‍රහාරයේ වින්දිතයන්ට මේ වනවිට ලබා දී ඇති වන්දි හා ප්‍රදානයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) මෙම ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ යැපෙන්නන් සඳහා දිගුකාලීනව ලබාදීමට බලාපොරොත්තු වන සහන කවරේද;

යන්න  තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-01-07

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මියගිය අයගේ නම් හා ලිපින  සහිත නාමලේඛනය ඇමුණුම අංක (01) ලෙස ඉදිරිපත් කරමි. (දේශීය සහ විදේශීය නම් සඳහන් පුද්ගලයන් සංඛ්‍යාව 268කි.)

              (ii)      ශාරීරික හානි සම්බන්ධයෙන් වන්දි ඉල්ලුම්කර අයදුම්පත් යොමු කරන ලද අයගේ නම් හා ලිපින  ඇතුළත් ලේඛනය ඇමුණුම අංක (02) ලෙස ඉදිරිපත් කරමි. (තුවාල ලැබූ සංඛ්‍යාව 506කි.)

ඇමුණුම (01) සහ (02) සභාගත* කරමි.

(ආ) (i) තුවාල ලැබූ පුද්ගලයන් විසින් යොමු කරන ලද වන්දි අයදුම්පත්වලට අනුව තුවාල වන්දි ලැබූ පුද්ගලයන්ගේ නාම ලේඛනය (ඇ) (i) යටතේ ඉදිරිපත් කර ඇත. (ඇමුණුම 04)

වන්දි ගෙවීම් සිදුකර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරියාගේ වෛද්‍ය වාර්තාව පදනම් කරගෙනය. එම වෛද්‍ය වාර්තාවේ වෛද්‍යවරයා විසින් සඳහන් කර ඇති ස්ථිර දුබලතාව  හේතුවෙන් ඉපයීමේ ශක්තිය හීනවීමේ ප්‍රතිශතයේ අගය ප්‍රතිශතයක් ලෙස හෝ තාවකාලික දුබලතාවේ කාලපරිච්ඡේදය සැලකිල්ලට ගෙන වන්දි මුදල් ප්‍රමාණය තීරණය කර ඇත.

ඒ අනුව ස්ථිර දුබලත්වය සියයට 70ක් හෝ ඊට වැඩි ලෙස සඳහන් කර ඇති විටක හෝ තාවකාලික දුබලතාවය මාස 06ක් හෝ ඊට වැඩි ලෙස සඳහන් කර ඇති අවස්ථාවක පූර්ණ දුබලතාව  ලෙස සලකා උපරිම වන්දි මුදල වන රු. 500,000 ගෙවීම් කර ඇත. එසේ සඳහන් නොවූ තුවාලකරුවන් සඳහා වෛද්‍ය වාර්තාවල සඳහන් දුබලතාවේ  ප්‍රතිශතයක් හෝ කාලය පදනම් කරගෙන ගෙවීම් සිදු කර ඇත.

තුවාලය පූර්ණ ආබාධයක්ද නැද්ද යන්න තීරණය කරනුයේ වෛද්‍ය නිලධාරියා විසින් නිකුත් කරනු ලබන වෛද්‍ය වාර්තාව පදනම් කරගෙනය.

(ii) කැබිනට් මණ්ඩල තීරණය පරිදි උපරිමය රු. 500,000ක් දක්වා තුවාල ලැබූ පුද්ගලයන් සඳහා වන්දි මුදල් ගෙවා ඇත.

   (iii) පූර්ණ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රු. 500,000 උපරිමයකට යටත්ව මූල්‍යමය වන්දි ගෙවීම් කර ඇත.

(iv) ඉහත පරිදි මූල්‍යමය වන්දි ගෙවීම් කර ඇත.

(ඇ) (i) මිය ගිය අයගේ යැපෙන්නන් වෙත කළ වන්දි ගෙවීම - ඇමුණුම 03 ලෙසද, තුවාල ලත් අය වෙනුවෙන් කළ වන්දි ගෙවීම ඇමුණුම 04 ලෙසද ඉදිරිපත් කර ඇත.

ඇමුණුම 03 සහ 04 සභාගත* කරමි.

(ii) මේ වන විටත් ගෙවීම් කර ඇති මූල්‍යමය වන්දිවලට අමතරව අපේ අමාත්‍යාංශය යටතේ පවතින හානිපූරණ කාර්යාලය විසින් මනෝ සමාජයීය උපකාර (psychosocial support) අවශ්‍ය පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් (assessment) කර ඇත.

වර්තමානයේ හානිපූරණය සඳහා වන කාර්යාලය විසින් එවැනි අවශ්‍යතා සහිත පුද්ගලයන්ට   සහාය වීමට යෝජනා ක්‍රමයක් සකස් කරමින් සිටි.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks