01

E   |     |  

 දිනය: 2020-09-25   පිළිතුර ලබා දී ඇත 

0008/2020: පින්නවල අලි අනාථාගාරය: ආදායම/ අලාභය

8/2020

ගරු හේෂා විතානගේ මහතා,— සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන බවත්;

             (ii)       එම ආයතනය මගින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවට වැඩිම ආදායමක් ලබාදෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) වර්ෂ 2015 සිට 2019 දක්වා පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව, එක් එක් කාර්තුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) වර්ෂ 2015 සිට 2019 දක්වා එමගින් ලැබුණු ආදායම එක් එක් වර්ෂය සහ කාර්තුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ඇ) (i) පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට අලි පැටවුන්ට කිරි පෙවීම සඳහා අවස්ථාවක් ලබා දීම මේ වනවිට නවතා තිබේද;‍

(ii) එසේ නම්, එයට හේතු කවරේද;

(iii) අලි පැටවුන්ට කිරි පෙවීම සඳහා සංචාරකයන්ට අවස්ථාවක් ලබා නොදීම හේතුවෙන් ආයතනය වාර්ෂිකව ලබන අලාභය කොපමණද;

(iv) ශ්‍රී ලංකාවට වටිනා සම්පතක් වන පින්නවල අලි අනාථාගාරය වැඩිදියුණු කිරීම සඳහා රජය මගින් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

(v) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-25

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)         (i)

               (ii)

ගරු කථානායකතුමනි, පසුගිය වර්ෂවල සංචාරකයන්ගේ පැමිණීමත් ඒ වාගේම ආදායමත් ක්‍රමානුකූලව අඩු වෙමින් තිබෙනවා. ඒ පිළිබඳව ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට මේ වගුවෙන් බලාගන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව වෙලා තිබුණේ මෙයයි. පසුගිය කාලසීමාවේදී හීලෑ අලි අත් අඩංගුවට අරගෙන තමයි පින්නවලට ලබා දීලා තිබුණේ. පින්නවල හිටපු අලින් හා මේ අලින් එකතු වුණාම ඒ අය තුළ තිබුණු හැසිරීම හා තත්ත්වය වෙනස් වීමත් එක්ක පරිපාලන ව්‍යුහය තුළ නොයෙකුත් දේවල් කරලා තිබෙනවා. ඒ තත්ත්වය තුළ නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණා. සමහර රාජ්‍ය නොවන සංවිධාන මේ ස්ථානයට විරුද්ධව නඩු පවා දාලා තිබුණා. ගරු කථානායකතුමනි, පසුගිය කාලයේ නොයෙකුත් හේතු නිසා පින්නවල අලි අනාථාගාරය  විදේශිකයන්ට blacklist කරන තත්ත්වයට පත් වෙලා තිබුණා. ඒක නිසා එහි ආදායම් අඩු වෙන්නත්, සංචාරකයන්ගේ පැමිණීම අඩු වෙන්නත් හේතු වෙලා තිබෙනවා කියන එක තමයි සඳහන් කරන්න වන්නේ.

කාර්තුව

විදේශීය සංචාරක පැමිණීම - පින්නවල අලි අනාථාගාරය

 

2015

2016

2017

2018

2019

පළමු කාර්තුව

110,529

125,855

108,360

110,057

92,562

දෙවන කාර්තුව

63,494

63,186

63,744

61,026

24,120

තෙවන කාර්තුව

95,861

97,190

84,037

80,016

27,817

හතරවන කාර්තුව

92,778

94,874

83,603

86,563

53,900

එකතුව

362,662

381,105

339,744

337,662

198,399

 කාර්තුව

 

විදේශීය සංචාරක ආදායම (රු.) පින්නවල අලි අනාථාගාරය

 

2015

2016

2017

2018

2019

පළමු කාර්තුව

248,958,850

274,463,650

234,330,050

226,061,050

222,577,100

දෙවන කාර්තුව

127,299,350

126,631,150

124,846,450

109,857,900

53,031,400

තෙවන කාර්තුව

206,620,550

205,350,200

170,372,250

160,668,700

58,391,500

හතරවන කාර්තුව

183,095,000

181,803,500

154,441,800

152,919,900

102,803,000

එකතුව

765,973,750

788,248,500

683,990,550

649,507,550

436,803,000

 

 

 

 

 

(ඇ) (i) ඔව්.

(ii) 1.      කිරි උරා බොන අවස්ථාවේ පසුවන අලි පැටවුන් සහ මවුවරු අතර පවතින අන්‍යෝන්‍ය බැඳීම ඉතාම   ශක්තිමත් බැවින්, පින්නවල අලි අනාථාගාරයේ උපත ලබන, මවගෙන් කිරි බොන එම පැටවුන් වෙන්කර මේ  සඳහා යොදාගනිමින් එම සතුන්ට කෘත්‍රිමව කිරි පෙවීම සඳහා යොදා ගැනීම උචිත නොවීම. 

2. රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද CA/Writ/370/15 දරන නඩුවේදී සතුන් පුනරුත්ථාපනයට අදාළව ලබාදුන් නියෝග  හේතුවෙන් අලි පැටවු  ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට නොහැකි වී ඇත.

ගරු  කථානායකතුමනි, එතැනත් ප්‍රශ්නය වෙලා තිබෙන්නේ පින්නවල අලි අනාථාගාරයේ සිටිය යුතු අලි ප්‍රමාණයට වඩා අලි විශාල ප්‍රමාණයක් සිටින එකයි. මේක blacklist කරන්න එකත් එක ගැටලුවක් වෙලා තිබෙනවා.  ඒ වාගේම, මේ නඩු තීන්දුව නිසා ඉදිරි‍ වැඩ කරගෙන  යන්න  බැරි තත්ත්වයකුත් උදා වෙලා තිබෙනවා.

 ‍(iii) අලි  ඇතුන්ට කිරි පෙවීමෙන් 2015 වර්ෂයේ රුපියල්  මිලියන 5.9ක් ද, 2017 වර්ෂයේ රුපියල් මිලියන 3.3ක් ද, 2018 වර්ෂයේ රුපියල් මිලියන 3.4ක් ද ආදායම් ලෙස උපයාගෙන ඇත.  මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ එම වර්ෂවලදී උපයන ලද ඉහත කී ආදායම් සැලකිල්ලට ගත් කළ ආසන්න වශයෙන්  වාර්ෂිකව රුපියල් මිලියන 5ක පමණ අලාභයක් සිදු වේ යැයි නිරීක්ෂණය කරමි.

(iv) ඔව්.

(v) අලි ඇතුන්ගේ සුබ සාධනය සහ රැකවරණය සඳහා

a. අලි ඇතුන්ට ජීවත් වීමට අක්කර 16ක් පමණ වූ ප්‍රදේශයක් වෙන් කර, දම්වැල්වලින් තොරව අලි ඇතුන්ට එම කලාපය තුළ නිදහසේ ජීවත් වීමට සැලසුම් කර ඇත. දැනට එහි ඉදිකිරීම් අවසන් වෙමින් පවතින අතර, එය වෘක්ෂලතා, මඩ පොකුණු, වැලි පොකුණු, අලි ඇතුන්ට ආහාර ලබා ගැනීමට සුදුසු ස්ථාන, පිට කැසීම සඳහා සකස් කරන ලද ස්ථාන ආදියෙන් සමන්විත වේ.

b. අලි ඇතුන් දොළහකට ලැගුම්ගත හැකි වන පරිදි නව අලි පන්තියක් සඳහා සැලසුම් සකස් කරමින් පවතින අතර, තනි අලි සඳහා අලි පන්ති පහක් ඉදිකර අවසන් කර ඇත. පවතින සියලු  අලි පන්ති ප්‍රතිසංස්කරණය කරමින් පවතී.

c. අලි අනාථාගාරයේ රැකවරණය ලබන අලි ඇතුන්ට දිය නෑම සඳහා පවතින වැව පුළුල් කරමින් පවතී.

d. පින්නවල අලි අනාථාගාරයට කිලෝමීටර 3ක් පමණ දුරින් පිහිටි අක්කර 17ක් පමණ වූ ඉඩමක් ප්‍රමාණවත් වන්දි මුදල් ලබා ගැනීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුව වෙත පවරා දීමට එහි අයිතිකරු කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලි‍යේ 2වන වගන්තිය යටතේ පවරා ගැනීමෙන් පසු අලි ඇතුන් අභිජනනය සඳහා යොදා ගැනීමට යෝජිතය.

e. අලි අනාථාගාරය වටා පිහිටි පෞද්ගලික ඉඩම් අක්කර පහයි පර්චස් අසූහයක් මෙම දෙපාර්තමේන්තුව වෙත අත් පත් කර ගැනීමට ඉඩම් පවරා ගැනීමේ ක්‍රියාවලියේ විවිධ අදියරවල පවතී. පවරා ගැනීමෙන් අනතුරුව එම භූමි අලි ඇතුන්ගේ සුබ සාධනයට යොදා ගනී. ප්‍රධාන වශයෙන් මද කිපෙන අලි ඇතුන් නිදහසේ රැඳවීමට ස්ථාන සැකසීමට යෝජිතය.

 

සංචාරකයන්ගේ පහසුකම් වර්ධනය සඳහා

a. විනෝදාස්වාදය වෙනුවෙන් ඉදි කරන උද්‍යාන තුනක් වෙන් කර ඇත.

b. සංචාරක අවන්හල ඉදි කිරීම් අවසන්‍ වෙමින් පවතී.

c. නැරඹුම් මැදිරිය මහ ජනතාව වෙත විවෘත කර ඇත.

d. මාර්ග පද්ධති - මේ යටතේ පා ගමනින් ගමන් කරන මං මාවත් ඉදිකිරීම් අවසන් වෙමින් පවතී. මගී ගමන් මාර්ග සකස් කරන අතර, බගී රථ මිලදී ගෙන ඇත.

e. ප්‍රමාණවත් පහසුකම් සහිත වැසිකිළි පද්ධති පවතින අතර, සංචාරක අවන්හල සමඟ ද වැසිකිළි පද්ධති දෙකක් ඉදි කෙරේ.

f. නරඹන්නන් වෙනුවෙන් ඉදිකරන නව රථ ගාල් දෙකකි.

අක්කර එකයි පර්චස් 150ක් පමණ වූ එක් රථ ගාලක ඉදිකිරීම් දැනටමත් ආරම්භ කර ඇත. මෙය මෝදරවත්ත රථ ගාල ලෙස හැඳින් වේ.

පින්නවල අලි අනාථාගාරය ඉදිරිපිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර තුනයි පර්චස් දහනවයක් පමණ වූ ඉඩම පවරා ගැනීමෙන් අනතුරුව වඩාත් අංගසම්පූර්ණ රථ ගාලක් ඉදිකිරීමට අපේක්ෂිතය. එයට අවන්හලක්, බැංකු පහසුකම්, අළෙවිසැල් ආදිය ද ඇතුළත් වෙයි.

g. නරඹන්නන් සඳහා ප්‍රධාන පිවිසුම් දොරටුව වඩාත් පහසුකම් සහිතව ඉදිකිරීමටත්, එයට සමගාමීව අලි-ඇතුන් පිළිබඳව කෞතුකාගාරයක් ඉදිකිරීමටත් සැලසුම් කර ඇත. දැනට භාවිත කරන දේශීය නරඹන්නන් සඳහා වන ප්‍රවේශ ගොඩනැගිල්ල පිටවීමේ දොරටුව ලෙස නවීකරණය වේ.

යටිතල පහසුකම්

a. වියළි කාලගුණ තත්ත්ව යටතේ අලි අනාථාගාරයේ දෛනික අවශ්‍යතා සඳහා දැනට පවතින ජල සැපයුම් පද්ධතිය ප්‍රමාණවත් නොවන බැවින්, ක්‍රමවත් ජල සැපයුම් පද්ධතියක් ස්ථාපිත කරනු ලබයි. මේ තුළින් අලි මඩු පහසුවෙන් පිරිසිදු කිරීමටත්, අලි-ඇතුන්ගේ දෛනික ජල අවශ්‍යතා සපුරා ගැනීමටත් හැකියාව ලැබේ. තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රමය අනුව මේ වනවිට ලංසු කැඳවා ඇත.

b. අලි අනාථාගාරයේ මං මාවත්, උද්‍යාන ආලෝකවත් කිරීමට පවතින විදුලි සැපයුම ප්‍රමාණවත් නොවන බැවින්, ක්‍රමවත් විදුලි සැපයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කරමින් පවතී.

c. සූර්ය බල ශක්තියෙන් විදුලිය ලබා ගැනීමේ ව්‍යාපෘතියේ වැඩ නිම කර ඇත.

d. ආරක්ෂක කැමරා පද්ධතියක් ස්ථාපිත කර ඇත.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-09-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks