01

E   |     |  

 දිනය: 2019-07-09   පිළිතුර ලබා දී ඇත 

0816/2019: පානම දකුණ ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ඉඩම් : වගා කටයුතු අත්හිටුවීම

816/’19

ගරු ටී. රංජිත් ද සොයිසා  මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       1984 වර්ෂයේ සිට 2016/2017 මහ කන්නය දක්වා අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨා‍සයේ, පානම දකුණ ග්‍රාම නිලධාරි වසමේ පිහිටි වගා කරන ලද ඉඩම් ලාහුගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් වගා කිරීම අත්හිටුවීම සඳහා නි‍යෝග කර ඇති බව දන්නේද;

(ii) එසේ නම්, එයට හේතු කවරේද;

(iii) එම කාර්ය සඳහා නියෝග ලබාදුන් නිලධාරියා කවුරුන්ද;

(iv) එම ඉඩම් නැවත වගා කිරීමට ගොවීන්ට අවසර ලබා දී තිබේද;

(v) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-07-09

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       එහෙම දෙයක් තිබෙනවා. නමුත් ඒක 1984 වර්ෂයේ සිට 2016/2017 වෙනතෙක් නොවෙයි,  2009 වෙනතෙක් වගා කළා කියලා තමයි මෙතැන සඳහන් වෙන්නේ.    2009 වෙනතෙක් වගා කළා කියලාත්, එහෙම ප්‍රශ්නයක් තිබෙනවා කියලාත් දැන ගන්නට ලැබිලා තිබෙනවා.    

                         වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරන ලද කුඹුක්කන් සංරක්ෂිත වනය, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පානම දකුණ ග්‍රාම නිලධාරි වසම ද ඇතුළත්ව පැතිර පවත්නා වනාන්තරයක් බවත්, මෙම සංරක්ෂිත වනාන්තරය තුළ අනවසරව සිදු කරනු ලබන වගා කටයුතු නැවැත්වීමට වන නිලධාරින් කටයුතු කර ඇති බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇත.

(ii) කුඹුක්කන් සංරක්ෂිත වනය වන සංරක්ෂණ ආඥා පනතේ විධිවිධාන යටතේ 2009.02.17 දින අංක 1589/09 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයකින් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

වන සංරක්ෂණ ආඥා පනතේ විධිවිධාන අනුව ප්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයක් තුළ, වන සංරක්ෂක ජනරාල්ගේ අවසරය මත සිදු කිරීමට  අවසර ඇත්තේ විද්‍යාත්මක පර්යේෂණවල නිරත වීම, වෘක්ෂලතා නිරීක්ෂණය කිරීම හා කළමනාකරණ සැලැස්මේ නියම කරනු ලබන කටයුතු පමණි. එබැවින් මෙම සංරක්ෂිත වනාන්තරය තුළ වගා කටයුතු සිදු කිරීම නීති විරෝධී බවත්, ඒ සඳහා අවසර ලබා දිය නොහැකි බැවින් එම කටයුතු වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇත.

(iii) මෙම ප්‍රදේශය භාරව කටයුතු කරනු ලබන ලාහුගල අඩවි වන නිලධාරි ඇතුළු වනනිලධාරින් විසින් අනවසර වගා කටයුතු නැවැත්වීමට කටයුතු කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇත.

(iv) නැත.

(v) අදාළ නොවේ.

(ආ) වන සංරක්ෂණ ආඥා පනතේ විධිවිධානවල අනුව සංරක්ෂිත වනාන්තර තුළ වගා කටයුතු සඳහා අවසර දීමට නීතිමය ප්‍රතිපාදන නොමැත.

පිළිතුරු දුන් දිනය

2019-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks