04

E   |     |  

 දිනය: 2019-08-23   පිළිතුර ලබා දී ඇත 

0778/2019: කරස්නාගල පානීය ජල යෝජනා ක්‍රමය: වර්තමාන තත්ත්වය

778/’19

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ගම්පහ දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක ජනතාවට ප්‍රතිලාභ සැලසීමට පසුගිය රජය ඉදිකිරීම් ආරම්භ කළ කරස්නාගල පානීය ජල යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් නතර වී ඇති බව දන්නේද;

(ii) එම ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය කවරේද;

(iii) ව්‍යාපෘතිය  ඉදිරියට සිදු  කරගෙන යෑමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iv) ව්‍යාපෘතිය නිමකර ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට සැලසුම් කළ දිනය ඉක්මවා ‍බොහෝ කාලයක් ගත වී ඇති බව පිළිගන්නේද;

(v) එසේ නම්, මෙම ව්‍යාපෘතිය නිමකර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට අපේක්ෂිත දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-23

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඉදිකිරීම් නතර වී නොමැත.

              (ii)      ජල පිරිපහදුව ඉදිකිරීම් ප්‍රතිශතය සියයට 30යි.

                        ජල කුලුන ඉදිකිරීම සඳහා සම්ප්‍රේෂණ හා බෙදා හැරීම සම්බන්ධ ඉදිකිරීම් - ජල කුලුනු පහෙන් හතරක ඉදිකිරීම් ආරම්භ කර ඇත. සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් සම්බන්ධ ඉදිකිරීම් කොන්ත්‍රාත් හතෙන් පහක වැඩ කටයුතු ආරම්භ කර ඇත. තවත් අතුරු කොන්ත්‍රාත් දෙකක් සහ ප්‍රධාන ජල ගබඩා ටැංකිය ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුවෙමින් පවතී. ජලාශය ඉදිකිරීම සඳහා හෙක්ටෙයාර 115ක ප්‍රමාණයක ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.

(iii) ජලාශය ඉදිකිරීමේදී අවතැන් වන පවුල් 97ක් සහ ඉඩම් අහිමි වන පුද්ගලයන් 459 දෙනෙකු සඳහා වන්දි ගෙවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතියට යොමු කර ඇත.

(iv) ප්‍රධාන කොන්ත්‍රාත්තුව 2017 පෙබරවාරි සිට 2020 පෙබරවාරි දක්වා වේ. එබැවින්, ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කළ දිනය තවම ඉක්මවා නොමැත. කෙසේ වෙතත්, අවතැන් වන  පවුල් සහ ඉඩම් අහිමි වන පුද්ගලයන් සඳහා ප්‍රතිපාදන සපයා දීමේ ක්‍රමවේදය මත ව්‍යාපෘතිය නිම කිරීම රඳා පවතිනු ඇත.

(v) එම වන්දි ලබා දී අවුරුදු දෙකකින් ව්‍යාපෘතිය නිම කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දිය හැකි වනු ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks