01

E   |     |  

 දිනය: 2019-05-07   පිළිතුර ලබා දී ඇත 

0697/2019: කොළඹ දිස්ත්‍රික්කයේ පහත් බිම් ගොඩ කිරීම: තහනම

697/’19

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      කොළඹ දිස්ත්‍රික්කයේ, පහත් බිම් ගොඩකිරීම, නාගරික සංවර්ධන අධිකාරිය විසින් තහනම් කර තිබේ නම්, එම තහනම සිදු කළ වර්ෂය කවරේද;

             (ii)      මේ වනවිට එම තහනම ඉවත් කර තිබේනම්, තහනම ඉවත් කළ වර්ෂය සහ ඊට බලපෑ හේතු කවරේද;

(iii) 2015.01.10 දින සිට මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය හෝ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කොළඹ දිස්ත්‍රික්කයේ පහත් බිම් කොපමණ සංඛ්‍යාවක් ගොඩකිරීම සඳහා අනුමතිය ලබා දී තිබේද;

(iv) එම අනුමතීන් ලබා දී ඇති පුද්ගලයන්ගේ නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-07

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ)           (i)      ලේකම්, නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශය සහ සභාපති, නාගරික සංවර්ධන අධිකාරිය මඟින් 2003.09.21 දිනැති පුවත් පත් නිවේදනයක් මඟින් පහත සඳහන් කටයුතු වසර 3ක් සඳහා අත්හිටුවන ලෙස මහජනයා වෙත දන්වා ඇත.

                        1.    තෙත් බිම්, වගුරු බිම්, කුඹුරු, පුරන් වූ කුඹුරු, ජලාශ හා සම්බන්ධ සංවර්ධන කටයුතු සඳහා කිසිදු අයදුම්පතක් අදාළ ආයතන වෙත ඉදිරිපත් නොකරන ලෙසත්;

2. සියලු අනවසර ගොඩ කිරීම් නවතන ලෙසත්;

3. අනවසරයෙන් ගොඩ කරන ලද ඉඩම් යථා තත්ත්වයට පත් කරන ලෙසත්;

4. ඉහත ස්ථානවල කර ඇති සියලු  අනවසර ඉදිකිරීම් වහා ඉවත් කරන ලෙසත්.

වරින් වර කරන ලද පුවත් පත් නිවේදන මඟින් මෙම අත්හිටුවීම 2008 අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර ඇත.

(ii) 2008 වර්ෂයේ අප්‍රේල් 30 දිනෙන් පසුව මෙම අත්හිටුවීම තව දුරටත් දීර්ඝ නොකිරීම හේතුවෙන් අවසන් වී ඇත.

බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කවල පිහිටා ඇති තෙත් බිම්, වගුරු බිම්, කුඹුරු, පුරන් වූ කුඹුරු හා ජලාශ පිළිබඳව අධ්‍යයනයක් කර, ඒ හා සම්බන්ධ කළමනාකරණය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් පිළියෙල කිරීමටත්, ව්‍යවස්ථා හා ක්‍රියා පටිපාටි සම්පාදනය කිරීම සිදු කෙරෙන තෙක් උක්ත අත්හිටුවීම සිදු කර තිබුණි. ඒ අතුරතුර කාලයේදී බස්නාහිර පළාත් තෙත් බිම් කලාපීකරණ මාර්ගෝපදේශ රෙගුලාසි සැලැස්ම 2006දී සකස් කර අවසන් කරන ලදී. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය බස්නාහිර පළාතට අදාළ සංවර්ධන සැලැස්ම සැකසීමේදී තෙත් බිම් කලාපීකරණ මාර්ගෝපදේශ රෙගුලාසි එයට ඇතුළත් කර, අදාළ පාලාත් පාලන ආයතනයේ සංවර්ධන සැලැස්ම ගැසට් කිරීමේදී එම තෙත් බිම් කලාපීකරණ මාර්ගෝපදේශ රෙගුලාසි සැලැස්ම අන්තර්ග්‍රහණය කර ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව එම අත්හිටුවීම් 2008 අප්‍රේල් 30 දිනෙන් පසු දීර්ඝ නොකරන ලදී.

(iii) පහත් බිම් සංවර්ධනය පිළිබඳව 2011.02.07 දිනැති 1692/2 දරන ගැසට් පත්‍රය ප්‍රකාරව පහත සඳහන් ආයතනවලින් සමන්විත පහත් බිම් සංවර්ධනය සඳහා වූ සැලසුම් කමිටුවේ නිර්දේශය මත පහත් බිම් ගොඩ කිරීම සඳහා අනුමැතිය ලබා දේ.

(i) මධ්‍යම පරිසර අධිකාරිය

(ii) නාගරික සංවර්ධන අධිකාරිය

(iii) ගොවිජන සේවා දෙපාර්තමේන්තුව

(iv) ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව; සහ

(v) විශේෂ අවස්ථාවලදී අදාළ පළාත් පාලන ආයතනය හා අදාළ පළාත් සභා ආයතන.

ඒ කියන්නේ, පළාත් සභාවේ ගොවිජන  සේවා ඇතුළු ආයතන

2015.01.10 දින සිට 2019.04.02 දින දක්වා පහත්බිම් සංවර්ධනය සඳහා වූ කමිටුවේ නිර්දේශය මත ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය  කිරීමේ සංස්ථාව විසින් කොළඹ දිස්ත්‍රික්කයේ පහත්බිම් ගොඩකිරීම සඳහා ඉල්ලුම් කර ඇති ප්‍රමාණය සහ අනුමැතිය ලබා දී ඇති ප්‍රමාණය  පහත පරිදි වේ. 

 

වර්ෂය

ඉල්ලුම් කර

ඇති ප්‍රමාණය

අනුමත කර

ඇති ප්‍රමාණය

 

අක්කර

රූඩ්

පර්චස්

අක්කර

රූඩ්

පර්චස්

2015

61

2

14.00

22

3

39.4

2016

52

0

30.80

22

0

23.37

2017

171

2

10.18

12

2

4.51

2018

47

2

22.70

9

2

17.00

2019

36

1

5.53

1

1

21.25

ඒ අනුව 2015.01.10 දින සිට 2019.04.02 දින දක්වා කාලසීමාව තුළ ‍ගොඩකිරීම සඳහා ඉල්ලුම්කර ඇති මුළු පහත් බිම් ප්‍රමාණය අක්කර 369 රූඩ් 1  පර්චස් 3.21 වේ. ඉන් අක්කර 68 රූඩ් 2 පර්චස් 25.53ක් සඳහා පමණක් අනුමැතිය ලබා දී ඇත.

එසේම 2015.01.10 දින සිට 2019.04.02 දින දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් අනවසර ගොඩකිරීම්  පිළිබඳ පවරන ලද නඩු ප්‍රමාණය 59කි.

(iv) එම අනුමැතිය ලබා දී ඇති පුද්ගලයන්ගේ නම්, ඇමුණුම මඟින් ඉදිරිපත් කර ඇත. ඇමුණුම සභාගත* කරමි.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2019-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks