01

E   |     |  

 දිනය: 2019-08-07   පිළිතුර ලබා දී ඇත 

0519/2019: කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නවීකරණය: නව තාක්ෂණික උපකරණ

519/’19

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      (i)       කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතු නොදියුණු තාක්ෂණික උපකරණ              මඟින් නිවැරදි කාලගුණික අනාවැකි ලබාගැනීම ගැටලුවක්ව පවතින බව            දන්නේද;

            (ii)      කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මානව සම්පත් ඌනතාවයක් පවතින්නේද;

(iii) එසේ නම්, ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවට නවීන තාක්ෂණික උපකරණ ලබාදීමට සැලසුම් කර තිබේ නම්, එම උපකරණ කවරේද;

‍(ii) එම නවීන උපකරණ භාවිතා කර සිදු කරනු ලබන කාර්යයන් කවරේද;

(iii) එම උපකරණ සඳහා වැය වන මුදල කවරේද;

(iv) එම නවීන උපකරණ මිලදී ගැනිමේ ක්‍රමවේදය කවරේද;

(v) නවීන තාක්ෂණික උපකරණ ලබා දෙන දිනය කවරේද;

 යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?  

 

අසන ලද දිනය

2019-08-07

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      තාක්ෂණිකව දියුණු උපකරණ මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සවිබල ගැන්විය යුතුය. ඒ සඳහා අංක අමප17/2946/715/037 හා 2018.01.02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටයුතු කරමින් සිටී. අමාත්‍ය මණ්ඩල තීරණය ඇමුණුම 03හි දක්වා ඇත. 

              (ii)      මානව සම්පත් ඌනතාවක් ඇත.

            (iii)      එය කාලාන්තරයක් තිස්සේ ක්‍රමයෙන් උද්ගත වී ඇති තත්ත්වයකි. වර්තමානයට සහ නවීන තත්ත්වයට ගැළපෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙහි සේවක මණ්ඩලය නැවත සමාලෝචනය කර සකස් කිරීමට උපදෙස් ලබා දී ඇත. මේ වන විට එම කටයුතු සිදු කරමින් පවතින අතර අනුමත හා තත්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳ තොරතුරු ඇමුණුම 04 මඟින් දැක්වේ. ඇමුණුම් සභාගත* කරමි.

(ආ) (i) දැනට JICA ආධාර යටතේ ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර 02ක් ලබා ගැනීමේ කටයුතු ක්‍රමානුකූලව සිදු කරමින් පවතී. අංක අමප17/2946/715/037 හා 2018.01.02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව දෙපාර්තමේන්තුව නවීකරණයේදී මිලදී ගනු ලබන සෙසු උපකරණ තීරණය කරනු ලැබේ.

(ii) ඩොප්ලර් රේඩාර් භාවිත කර, කෙටි කාලීනව වර්ෂාපතනය ලැබීම්, බලාපොරොත්තු වන වර්ෂාපතනය ආසන්න ලෙස මිලි මීටර්වලින් ලබා දීම, අකුණු අනතුරු පිළිබඳ පූර්ව දැනුවත් කිරීම්, ටොනාඩෝ තත්ත්ව  පිළිබඳව පූර්ව දැනුවත් කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වේ.

(iii) ශ්‍රී ලංකා රජයේ මුදල් ප්‍රතිපාදන යටතේ - රුපියල් 486,650,000.00

ජපන් රජයේ ආධාර ලෙස දැනටමත් ලබා දී ඇති මුදල් ප්‍රතිපාදන-  ජපන් යෙන් 2,503,000,000.00

මෙම යන්ත්‍ර 02 ජපන් රජය මඟින් මිලදී ගෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලබන බැවින්, ඒ සඳහා වැය වන මුදල නිශ්චිතව කිව නොහැකියි.

ඒ නිසා ඒ මුදල් ප්‍රමාණය කොපමණද කියන එක ඉදිරියේදී දන්වන්නම්, ගරු මන්ත්‍රීතුමනි.

(iv) ජපානයේදී සිදු කරනු ලබන විවෘත ටෙන්ඩර් කැඳවීමක් මඟින් ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර 02 මිලට ගන්නා සමාගම තීරණය කරනු ලැබේ. 

මෙය ණයක් නොවෙයි, ජපන් ආධාරයක්. ඒ නිසායි එහෙම කරන්නේ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

(v) 2024 වසර තුළදී මෙය භාවිතයට ගැනීමට මුලින් තීරණය කර තිබුණා. එහෙත් කල්ගත වී ඇති නිසා, ජපානයේ එම කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඉතා ඉක්මනින් මේවා භාවිතයට ගන්න කටයුතු කරනවා.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2019-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks