E   |     |  

 දිනය: 2019-06-06   පිළිතුර ලබා දී ඇත 

0505/2019: සායනික අපද්‍රව්‍ය දහනය : සිදු වන පීඩාව

505/’19

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      බස්නාහිර පළාත් රෝහල්වල සායනික අපද්‍රව්‍ය මුල්ලේරියාව, සිසිලි හනා‍රෝ ආයතනයේදී පැය 24 පුරා දහනය කිරීමෙන් නිකුත් වන  දුමාරයෙන් අවට වෙසෙන ජනතාවට 2004 වර්ෂයේ සිට පීඩා සිදු  වන බවත්;

(ii) මෙම ආයතනය පිහිටුවීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක සපුරා නොමැති බවත්;

(iii) මධ්‍යම පරිසර අධිකාරියේ බලපත්‍රය ලබා ගැනීමේදී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ නිර්දේශය ලබා ගෙන නොමැති බවත්;

(iv) දැඩි ලෙස බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය පීඩා ගෙන දෙන පරිසර දූෂණයක් මේ මඟින් සිදු වන බවට විද්‍යාත්මකව පරීක්ෂා කර පිළිගත් ඇගයීමක් පවතීද;

(ii) ජනතාවට සිදු වන පීඩාව අවම කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

(iii) නොඑසේ නම්, මෙම පීඩාව වැළැක්වීමට ගත හැකි කෙටිකාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග කවරේද;

(iv) ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුකූලව ශ්‍රී ලංකාව තුළ සායනික අපද්‍රව්‍ය දහනය කිරීමේ මධ්‍යස්ථානයක් නිර්මාණය කළ හැකිද;

(v) ඒ සඳහා රජය විසින් මේ වනවිට සැලසුම් සකස් කර තිබේද;

(vi) එසේ නම්, එය ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-06

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)       සිසිලි හනාරෝ ආයතනය විසින් 2013 වර්ෂයේ ආරම්භ කළ සායනික අපද්‍රව්‍ය දහනය මධ්‍යම පරිසර අධිකාරියේ අදාළ බලපත්‍ර මත ක්‍රියාත්මක වූ අතර, අධිකරණ තීන්දුවකින් 2018 ඔක්තෝබර් මස 30වැනි දින වසා දමන ලදී.

              (ii)       සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා භාවිත කරන දාහක (Incinerator) වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000cට වැඩි විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කර ඇත.

(iii) දැනට පවතින නීති අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ නිර්දේශ ලබා ගැනීම අනිවාර්ය නොවේ.

(iv) බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ බවට ජනතාව විසින් පැමිණිලි කර තිබුණු අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් බලාධිකාරිය පැවරී ඇති මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර ඇත.

(ආ) (i) පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී තෝරා ගත් වැදගත් පරිසර දූෂක සඳහා විද්‍යාත්මක කරුණු පදනම් කර ගත් ප්‍රමිතිගත අගයන් (Cut off Values) සැලකිල්ලට ගනු ලැබේ. වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් හිමිවී ඇති දාහකය මගින් දැඩි පරිසර දූෂණයක් සිදු නොවන බව නිගමනය වේ.

(ii) මේ වන විට එම දාහකය වසා දමා ඇත.

(iii) පැන නොනඟී.

(iv) ඔව්.

(v) ඔව්.

(vi) නව දාහක යන්ත්‍ර දෙකක් මුතුරාජවෙල පිහිටි ඉඩමක මේ වන විටත් ස්ථාපනය කර ඇත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks