පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
484/’19
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇති සීමාසහිත ලංකා සතොස ශාඛා සංඛ්‍යාව කොපමණද;
(ii) එම ශාඛාවල ලිපිනයන් කවරේද;
(iii) 2010 වර්ෂයේ සිට මේ දක්වා එම සතොස ශාඛාවල සේවය සඳහා බඳවාගත් පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් හා තනතුරු නාම කවරේද;
(iv) එම බඳවා ගැනීම් සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;
(v) මහනුවර දිස්ත්‍රික්කයේ ලංකා සතොස ශාඛා ජාලය පුළුල් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-03-06
අසන ලද්දේ
ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 25යි.
(ii) එම ශාඛාවල ලිපිනයන් ඇමුණුම අංක 01 මඟින් ඉදිරිපත් කරමි.
(iii) ඉහත සඳහන් කාල සීමාව තුළ බඳවා ගෙන ඇති සේවක සංඛ්‍යාව 215ක් වේ. එම අයගේ නම්, ලිපිනයන් හා තනතුරු ඇතුළත් ලැයිස්තුව ඇමුණුම අංක 02 *මඟින් ඉදිරිපත් කරමි.
එය දීර්ඝ ලේඛනයක්. ගරු කථානායකතුමාට කාලය ඉතිරි කර දිය යුතු නිසා මේ අවස්ථාවේ මා එය කියවන්නේ නැහැ.
මේ ලේඛනය ගත්තාට පසුව ඒ සම්බන්ධ තොරතුරු ඔබතුමාට බලන්න පුළුවන්. එමඟින් පැන නඟින තවත් මොනවා හෝ කාරණයක් තිබුණොත්, එය ප්‍රශ්නයක් විධියට අහන්න. මා හෝ විෂයය භාර ඇමතිතුමා එයට පිළිතුරු දෙනවා.
(iv) පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව, ලංකා සතොස වෙත යොමු කරනු ලැබූ අයදුම්පත්වලින් සුදුසුකම් ඇති අයවලුන් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බඳවා ගැනීම කරනු ලබයි.
පුවත් පත් දැන්වීමක් පළ කළාම ලංකා සතොස වෙත යොමු කරන අයදුම් පත්‍ර අනුව ඉස්සර වෙලාම සිදු වන්නේ, ඒ අයදුම් පත්‍ර ඉදිරිපත් කළ අය අතරින් අවම වශයෙන් මූලික සුදුසුකම් හෝ තිබෙනවාද නැද්ද කියන කාරණය උඩ සුදුසු අය සහ නුසුදුසු අය තීරණය කිරීමයි. ඒ සුදුසුකම් අවම වශයෙන් හෝ සම්පූර්ණ කර තිබෙන අය සම්මුඛ පරීක්ෂණයකට කැඳවනවා. ඉන් අනතුරුව බඳවා ගැනීම් සිද්ධ වෙනවා.
(v) (1) 2018 වර්ෂය අවසන් වීමට පෙර විවෘත කිරීමට සැලසුම් කරන ලද නව අළෙවි සල් 30 අතරින් මහනුවර දිස්ත්‍රික්කයට අයත් ලංකා සතොස අළෙවි සල් 05ක් ඉදිරි මාසයන්හි විවෘත කිරීමට කටයුතු යොදා ඇත. අදාළ තොරතුරු පහත පරිදි වේ.
2018 වර්ෂය අවසන් වීමට ප්‍රථම අළෙවි සල් 30ක් රට පුරා විවෘත කරන්න අපි සැලසුම් කර තිබුණා. ඒ අතරින් මහනුවර දිස්ත්‍රික්කයට අයත් සතොස අළෙවි සල් 5ක් විවෘත කරන්න කටයුතු කර තිබුණා. එහෙත්, ඔබතුමා ද දන්නා පරිදි මෑතදී රටේ සිදු වූ වෙනස්කම් නිසා එය තාවකාලිකව ප්‍රමාද කරන්න සිද්ධ වුණා. මේ වනකොට සමහර සතොස අළෙවි සල් විවෘත කර තිබෙනවා, සමහර ඒවා විවෘත කරන්න අවශ්‍ය කටයුතු කරනවා. විශේෂයෙන්ම වත්තේගම, බොක්කාවල, මැදවෙල, හපුගස්තලාව සහ කඩුගන්නාව කියන ශාඛා 5 තමයි අපේ ප්‍රමුඛ ශාඛා බවට පත් වී තිබෙන්නේ.
(2) ලංකා සතොස ශාඛා විවෘත කිරීමට මහනුවර දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි රජයේ ගොඩනැඟිලි ඇත්නම් -වර්ග අඩි 2,000ක් හෝ ඊට වැඩි- බිම් මහල් ලබා ගැනීමට මේ වන විට රාජ්‍ය ආයතනවලින් ලිඛිත ඉල්ලීම් සිදු කර ඇත. (උදා: දිසාපති කාර්යාලවලින්)
රජයේ ගොඩනැඟිලි යොදා ගන්නයි අප පුළුවන් හැම අවස්ථාවේදීම උත්සාහ කරන්නේ. එතකොට අපට පුළුවන්, වියදම අඩු කර ගන්න. එවැනි ස්ථාන තිබෙනවා නම් ඒවා ලබා ගැනීමට අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඉල්ලීම් කර තිබෙනවා.
(3) ලංකා සතොස ශාඛාවන් විවෘත කිරීමට දුම්රිය ස්ථාන ආසන්න ගොඩනැඟිලි ලබා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීම් සිදු කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks