01

E   |     |  

 දිනය: 2019-02-07   පිළිතුර ලබා දී ඇත 

0380/2019: සී/ස නැ‍ඟෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතිය: භාණ්ඩාගාර බිල්පත් සඳහා මුදල් ආයෝජනය

380/’18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සී/ ස නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතිය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන මූල්‍ය සමාගමක් හරහා භාණ්ඩාගාර බිල්පත් ඉල්ලුම් කර, ලබාගෙන හෝ වෙන්කරගෙන තිබේද;

(ii) එසේ නම්, එම මුදල කොපමණද;

(iii) මෙම ගනුදෙනුව සිදු වී ඇති දිනය කවරේද;

(iv) මෙම සමිතියේ මුදල්වලට  සිදුවී ඇත්තේ කවරක්ද;

(v) මේ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මහ බැංකුවට වගකීමක් නොමැතිද;

(vi) මෙම මුදල් තැන්පත් කර ඇති ආයතනය මේ වනවිට ක්‍රියාත්මකව පවතින්නේද;

(vii) මෙම සමාගමේ අයිතිකරුවන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සී/ ස නැගෙනහිර හේවාගම් කෝරළයේ, විවිධ සේවා සමූපකාර සමිතියේ, ග්‍රාමීය බැංකු තැන්පත්කරුවන් වෙනුවෙන් ඉදිරියේ දී ගනු ලබන පියවර කවරේද;

(ii) සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලයට රජයේ බැංකුවක හැර පුද්ගලික මූල්‍ය සමාගමක මුදල් ආයෝජනය කළ හැකිද;

(iii) ජනතාවගේ මුදල් තම හිතුමතේට තැන්පත් කිරීම හේතුවෙන් සිදුවී ඇති පාඩුව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අය කර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iv) මේ සම්බන්ධයෙන් රජයට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද;   

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-07

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) නැ‍ඟෙනහිර හේවාගම් කෝරලයේ සමුපකාර සමිතිය, එන්ට්‍රස්ට් ලිමිටඩ් සහ එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී ආයතනය හරහා රජයේ සුරැකුම්පත්වල ආයෝජනයට ඉල්ලුම් කර ඇත. එම ආයතන මූල්‍ය සමාගම් නොවන අතර එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී ආයතනය පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය වන ප්‍රාථමික වෙළෙඳ ආයතනයකි.

(ii) 2017 ජූනි 30 වන විට ආයෝජන අගය රුපියල් මිලියන 538.9ක් වේ.

(iii) වර්ෂ 2010 සිට 2014 දක්වා කාලය තුළ මෙම ආයෝජන සිදු වී ඇත.

(iv) නැ‍ඟෙනහිර හේවාගම් කෝරලයේ සමුපකාර සමිතිය විසින් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය සඳහා එන්ට්‍රස්ට් ලිමිටඩ් සහ එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් එම මුදල් නිසි පරිදි ආයෝජනය කර නැත. මෙම මුදල් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කරන ලද බවට සඳහන් කරනු ලැබූවත් එම ආයෝජන සඳහා සුරැකුම් පැවරීමක් කර නොමැති බවද අනාවරණය වී ඇත.

(v) මෙම ආයෝජනය රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියට අනුව සිදු වී නැති බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට වගකීමක් නැත. එනම් මෙවැනි ආයෝජන ආයෝජකයා සහ ආයතනය අතර ඇතිවන ව්‍යාපාරික ගනුදෙනුය. එම ගනුදෙනු දෙපාර්ශ්වය අතර ඇතිවන ගිවිසුම් සහ ආයෝජනය කිරීමේ අභිලාෂයෙන් තැන්පත් කරන ලද මුදල් සුරක්ෂිත කිරීම, එනම් අදාළ ආයෝජනය සඳහා නියමිත සුරැකුම් පැවරීම මත ක්‍රියාත්මක වන ගනුදෙනු ක්‍රමවේදයකි. එම සුරැකුම් පැවරීම සහ ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාත්මක වන්නා වූ මධ්‍යම තැන්පතු ක්‍රමයේ වාර්තා කිරීමේ වගකීම අදාළ ප්‍රාථමික වෙළෙඳ ආයතනය සතු වේ. මධ්‍යම තැන්පතු ක්‍රමය මඟින් කලින් කලට ආයෝජකයන් වෙත ගිණුම් ශේෂ/ ගනුදෙනු ප්‍රකාශ යවන අතර තම ගිණුම් පරීක්ෂාවට මාර්ගගත (online) පහසුකමද සලසා දී ඇත. එසේම එම සුරැකුම් පවරා ඇති බවට තහවුරු කර ගැනීම ආයෝජකයාගේද වගකීමක් වේ. කෙසේ වෙතත් මෙම ආයෝජන සඳහා එසේ සුරැකුම් පැවරීමක් සිදු වී නොමැති නිසා මෙම ආයෝජන නිත්‍ය වශයෙන්ම රාජ්‍ය සුරැකුම්පත්වල කරන ලද ආයෝජන ලෙස සැලකිය නොහැක.

එනමුත් මෙම ආයෝජන කිසියම් පුද්ගලයෙකු විසින් රජයේ සුරැකුම්පත්හි ආයෝජනය කිරීමේ අපේක්ෂාවෙන් එම ආයෝජන කිරීම සඳහා පත් කරන ලද ආයතනයකට භාර දී ඇති බැවින් යම් ආයෝජකයෙකුට තමන් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති බවට හා එම ආයෝජන රජයේ සුරක්ෂිතභාවයට යටත්ය යන නීත්‍යනුකූල අපේක්ෂාවක් ගොඩනඟා ගැනීමට ඉඩ ඇත. ඒ අනුව රජයේ සුරැකුම්පත්වල ආයෝජන සඳහා සිය වගකීම් ඉටු කිරීමට යම් ප්‍රාථමික අළෙවිකරුවෙකු අසමත්වීම සමස්ත රජයේ සුරැකුම්පත් සඳහා ආයෝජකයන්ගේ ඇති විශ්වාසය පලුදු වීමට බලපෑ හැකිය. එම කරුණ සැලකිල්ලට ගනිමින් එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී ආයතනය සම්බන්ධව ගැටලුව සඳහා සුදුසු නිරාකරණ සැලසුමක් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත.

(vi) ආයෝජනයට අදාළ මුදල් එන්ට්‍රස්ට් ලිමිටඩ් සහ එන්ට්‍රස් සිකියුරිටීස් පීඑල්සී ආයතන වෙත ලබා දී ඇත. එයින් එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී ආයතනය දැනට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කළමනාකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන අතර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. තවද එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී ආයතනයේ ගනුදෙනු සම්බන්ධව අධිකරණ නියෝගයක් මත රජයේ විගණකාධිපතිවරයා විසින් මේ වන විට වෝහාරික විගණනයක්ද සිදු කරමින් පවති.

එන්ට්‍රස්ට් ලිමිටඩ් ආයතනය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ නීතිමය කටයුතු සිදු කරමින් පවතී.

(vii) එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සීහි 2015 වසරේ අධ්‍යක්ෂ මණ්ඩලය.

ඉසිර ධර්මප්‍රිය බණ්ඩාර දසනායක මහතා

චනුක උපේන්ද්‍ර රත්වත්තේ මහතා

රොමේෂා දුෂ්‍යාන්ති සෙනෙරත් මිය

නලින් නියෝමාල් පෙරේරා ජයසූරිය මහතා

ගොඩකන්ද ආරච්චිගේ ක්‍රිෂාන්ත නානායක්කාර මහතා

රවීන්ද්‍ර මනෝහර ශ්‍රී තිලකවර්ධන මහතා

(ආ) (i) මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරු කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයෙන් විමසිය යුතුය.

(ii) ඉහත (ආ) (i) පිළිතුර අදාළ වේ.

(iii) ඉහත (ආ) (i) පිළිතුර අදාළ වේ.

(iv) ඉහත (ආ) (i) පිළිතුර අදාළ වේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks