01

E   |     |  

 දිනය: 2019-05-07   පිළිතුර ලබා දී ඇත 

0319/2019: ජීව විද්‍යාව විෂය නව නිර්දේශය: ගැටලු

319/’18

ගරු සිසිර ජයකොඩි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2019 වර්ෂයේදී ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ට නව විෂය නිර්දේශයක් හඳුන්වා දී ඇති බවත්;

(ii) වසරක් ගත වී ඇතත්, මේ වනතෙක් ලබා දී ඇත්තේ ඒකක 5ක විෂය නිර්දේශයන් පමණක් බවත්;

(iii) ඒවා ද ලබාදී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බවත්;

(iv) නව විෂය නිර්දේශය සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණ හා ගුරු අත්පොත් ලබාදී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එම විෂය නිර්දේශය හඳුන්වා දෙනවිට ගුරුවරුන්ට ගුරු පුහුණුව හා නව නිර්දේශය පිළිබඳ දැනුවත් කිරීමක්  සිදු කරනු ලැබුවේද;

(ii) නොඑසේ නම්, ඒ මන්ද;

(iii) සම්පූර්ණ විෂය නිර්දේශය ලබා දීමට කටයුතු කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-05-07

අසන ලද්දේ

ගරු නීතිඥ සිසිර ජයකොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2019 වසරේ දී ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ට 2017 වසරේ සිට නව විෂය නිර්දේශය  හඳුන්වා දී ඇත.

              (ii)       එම විෂය නිර්දේශයට ඒකක 10ක් ඇතුළත් වන අතර, එම සියලු ඒකක ඇතුළත් විෂය නිර්දේශ ජීව විද්‍යා ගුරුවරුන්ට මාධ්‍ය තුනෙන්ම ලබා දී ඇත.

(iii) අ.පො.ස. (උ.පෙළ) ජීව විද්‍යාව 2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයේ පිටපත් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන් ම ලබා දී ඇත.

(iv) නව විෂය නිර්දේශය සඳහා නිර්දේශිත, ප්‍රායෝගික පරීක්ෂණ විෂය නිර්දේශයේ අදාළ නිපුණතා මට්ටම් යටතේ තද කළු අකුරින් මුද්‍රණය කර ඇත.

12 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය

  • නව විෂය නිර්දේශයට අදාළ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු මාර්ගෝපදේශයේ පිටපත 2017 වසරේ අගෝස්තු මස 03 දින සිට සැප්තැම්බර් මස 03 දින දක්වා පැවැති ගුරු පුහුණු වැඩමුළුවලදී ගුරුවරුන්ට ලබා දී ඇත.
  • ගුරු මාර්ගෝපදේශයේ සිංහල හා දෙමළ මාධ්‍ය පිටපත් 2018 පෙබරවාරි මස අවසන් සතියේ විද්‍යා විෂය ධාරාව උගන්වන සියලු පාසල්වලට බෙදා හැර ඇත.
  • ඒ අනුව ගුරු මාර්ගෝපදේශයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පිටපත් මේ වන විට බෙදා හැර ඇති අතර, එම පිටපත් භාෂා තුනෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියේ පළ කර ඇත.

13 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය

  • සිංහල හා දෙමළ ගුරු මාර්ගෝපදේශය පිටපත් 2018 වසරේ ජූනි මස 11 සිට ජූලි මස 31 දින දක්වා පැවැති ගුරු පුහුණු වැඩමුළුවලදී ගුරුවරුන්ට ලබා දී ඇත.
  • ගුරු මාර්ගෝපදේශයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පිටපත් මේ වන විට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කර බෙදා හැර ඇති අතර, ජීව විද්‍යා නව විෂය නිර්දේශය හා 13 ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියේ පළ කර ඇත.

(ආ) (i) නව විෂය නිර්දේශය පිළිබඳ ජීව විද්‍යා ගුරුභවතුන් දැනුවත් කිරීම සඳහා 2017 සහ 2018 වස‍රවලදී වැඩසටහන් පවත්වා ඇත. එම වැඩසටහන් පහත ඇමුණුමෙහි දක්වා  ඇත.

(ii) සම්පූර්ණ විෂය නිර්දේශය ඉහත (අ) කොටසෙහි දැක්වෙන පරිදි මේ වන විට ලබා දී ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2019-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks