01

E   |     |  

 දිනය: 2019-02-06   පිළිතුර ලබා දී ඇත 

0227/2019: වත්තල, ගල්උඩුපිට ඉදි කළ රජයේ ගොඩනැගිල්ල: භාවිත නොකිරීම

227/’18

ගරු විජිත හේරත් මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ‍වත්තල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරන ලද ගල්උඩුපිට රජයේ ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල කොපමණද;

             (ii)      එම ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ කුමන කටයුත්තක් සඳහාද;

(iii) එම ප්‍රදේශයේ දරුවන් ක්‍රීඩාපිටියක් ලෙස භාවිතා කරන ලද අදාළ භූමියෙහි ගොඩනැගිල්ල  ඉදිකිරීම විද්‍යාත්මක පදනමක් මත  නිමකර තිබේද;

(iv) එකී ගොඩනැගිල්ලේ වැඩ කටයුතු  මේ වනවිට නිම කර ඇතත්, කිසිදු ප්‍රයෝජනයක් නොගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(v) මේ වනවිට අදාළ ගොඩනැගිල්ල එක් පැත්තකට ඇලවීමට ලක්වී ඇති බවත්, දොර ජනෙල් හා අනෙකුත් වටිනා දෑ ගලවා ගෙන ගොස් ඇති බවත් ‍දන්නේද;

 

 

(vi) එම ගොඩනැගිල්ල මේ වනවිට වල් බිහි වී ඇති තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-06

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

 

වියදම

මුදල

1.

ඉදිකිරීම් සඳහා වියදම

රු.23,701,040.00

2.

වැට්

රු.3,555,156.00

3.

පරිපාලන වියදම

රු.2,157,528.89

 

ගොඩනැගිල්ල සඳහා වැය කරන ලද මුළු මුදල

රු.29,413,724.89

           ආරක්ෂක වැට ඉදි කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දුන් මුදල - රුපියල් 4,296,133.38

              (ii)       හදිසි ආපදා අවස්ථාවකදී ආපදාවකට ලක් වූ හෝ ලක් විය හැකි ජනතාව සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම සඳහා මෙම ගොඩනැඟිල්ල ඉදි කරන ලදී.

(iii) අදාළ භූමිය ප්‍රාදේශීය ලේකම් විසින් ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා නිර්දේශ කර ලබා දෙන ලද අතර, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින්  භූමිය පරීක්ෂා කර විද්‍යාත්මක පදනමක් මත අදාළ භූ විමර්ශන කටයුතුවලින් පසු ඉදි කිරීම් කර ඇත.

(iv) මෙම ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් කටයුතු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් සිදු කරන ලද අතර, එම ආයතනය විසින් වැඩ නිමවා ගම්පහ  දිස්ත්‍රික් ලේකම් වෙත භාර දිය යුතුව ඇත. එම කටයුතු මෙතෙක් සිදු වී නොමැති අතර, ඒ සම්බන්ධව අමාත්‍යාංශය ලිඛිතව අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇත.

(v) ගොඩනැඟිල්ල එක් පැත්තකට ඇලවී ඇති බවක් නිරීක්ෂණය නොවන අතර, එවැනි ඇලවීමක් සිදු වී ඇත්දැයි විද්‍යානුකූලව පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ක්‍රියා කළ අතර, එහි වාර්තාව ඉක්මනින් ලබා දෙනු ඇත.

ගොඩනැඟිල්ලේ දොරවල් සහ අනෙකුත් වටිනා දෑ ගලවාගෙන යෑමක් සිදු වී නොමැති අතර, යම්කිසි පිරිසක් විසින් එම ගොඩනැඟිල්ලට   විශාල අලාභානියක් සිදු කොට තිබූ අතර, එය මේ වන විට නැවත තිබූ තත්ත්වයට ප්‍රතිසංස්කරණය කොට ඇත.

තවද මෙම ගොඩනැඟිල්ලේ ආරක්ෂාව සඳහා ආරක්ෂිත වැටක් ඉදි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ගම්පහ දිස්ත්‍රික් ලේකම්  වෙත ලබා දී ඇති අතර, එම වැට ඉදි කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම් විසින් වත්තල ප්‍රාදේශීය ලේකම් වෙත ගොඩනැඟිල්ල භාර දීමට නියමිතය.

(vi) සියලු වැඩ අවසන් වී ගොඩනැඟිල්ල භාරදීමේදී මෙම තත්ත්වය මඟ හැරෙනු ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks