01

E   |     |  

 දිනය: 2019-02-06   පිළිතුර ලබා දී ඇත 

0213/2019: ඩබ්ලිව්.එල්. ආර්.එන්. ලියනගේ මහතා: ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා නොගැනීම

213/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අංක 27/88 හා 01/99 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව රාජ්‍ය සේවයේ හා ‍රාජ්‍ය සංස්ථාවන්හි පුරප්පාඩු පිරවීමේ දී, ඉන් 3%ක ප්‍රතිශතයක් සුදුසුකම් ලත් හා ආබාධිත තත්ත්වය ඔවුන්ගේ කටයුතුවලට බාධාවක් නොවන ආබාධිත පුද්ගලයන්ගෙන් පිරවිය යුතු බවත්;

(ii) ශ්‍රී ලංකා පරිපාලන සේවයට නිලධාරින් බඳවා ගැනීමේ 2004 (2005) විවෘත තරඟ විභාගයට විභාග අංක 0087548 යටතේ පෙනී සිට ලකුණු 135 ක් ලබා  සමත්ව සිටින 1 1/4 කණුව, අම්පාර පාර, සියඹලාණ්ඩුව යන ලිපිනයේ පදිංචි කායික ආබාධ සහිත තැනැත්තෙකු වන ඩබ්ලිව්. එල්. ආර්. එන්. ලියනගේ මහතා, තමා ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමට සලකා බලන ලෙසට කර ඇති අභියාචනය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ආබාධ සහිත පුද්ගලයන් ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමට නොහැකි බව සඳහන් කරමින් ප්‍රතික්ෂේප කර ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකා පරිපාලන සේවයට ආබාධ සහිත පුද්ගලයන් බඳවා නොගත යුතු බවට  විධිවිධාන පවතීද;

(ii) නොඑසේ නම්, ලියනගේ මහතාට යුක්තිය ඉටුකිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-02-06

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්. එම චක්‍රලේඛයේ පහත පරිදි සඳහන් වේ.

      රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය සංස්ථාවල

           (1)  ඇබෑර්තු පිරවීමේදී, ඇබෑර්තුවලින් සියයට තුනක් අවශ්‍ය සුදුසුකම් ලත් හා ආබාධිත තත්ත්වය ඔවුන්ගේ කටයුතුවලට බාධාවක් නොවන ආබාධිත පුද්ගලයන්ගෙන් පිරවිය යුතුය.

            (2)     තවද ඔවුන් බඳවා ගැනීමේදී ද අනුමත බඳවා ගැනීම් පරිපාටි/සේවා ව්‍යවස්ථා අනුගමනය කළ යුතුය.

(ii)  ඔව්. ඉහත චක්‍රලේඛ විධිවිධාන අනුව ඩබ්ලිව්.එල්.ආර්.එන්.  ලියනගේ මහතා ආබාධිත පදනමින් බඳවා ගැනීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බැවින් ඒ  බව දන්වා යවන ලදී.

(ආ) (i)  ඉහත (අ) අනුව ආබාධිත පුද්ගලයන් බඳවා ගැනීමේ විධිවිධාන, අංක 1419/3 හා 1988.06.07 දිනැති ශ්‍රී ලංකා පරිපාලන සේවා ව්‍යවස්ථාවේ අන්තර්ගත නොවේ. එසේම එහි 6 (ඈ) අනුව සේවාවට අතුළත් වන පුද්ගලයන් "විශිෂ්ට චරිතයකින් යුක්ත, මනා ශරීර ශක්තියක් ඇති, හොඳ ඇස් පෙනීමකින් යුක්ත පුද්ගලයෙකුට විවෘත තරග විභාගයකට පෙනී සිටීමට සුදුසුකම් ඇත" යනුවෙන් ද සඳහන් වේ.

(ii) ඉහත කරුණු අනුව ඩබ්ලිව්.එල්.ආර්.එන්. ලියනගේ මහතාට අසාධාරණයක් සිදු වී නොමැති අතර, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීමක් ලබා දීමට හැකියාවක් නොමැත.

(ඇ) ඉහත (අ) සහ (ආ) (i) අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීමක් ලබා දීමට විධිවිධාන නැත.

පිළිතුරු දුන් දිනය

2019-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks